See Also

Monday 22 February 2016

ඌව අතීතය සොයා ගිය අපේ ගවේශන චාරිකාවේ වගතුග

2015 ජනවාරි මාසෙ 22දා රාත්‍රිය එළඹෙද්දි  MegaaHike කණ්ඩායමේ සාමාජිකයින් අතරින් කිහිප දෙනෙක් තමන්ගේ අඩුම කුඩුම ලැහැස්ති කරගෙන කොළඹ කොටුවට එක්රැස් වුණේ ඌව පළාතේ ඓතිහාසික වැදගත්කමක් සහිත ස්ථාන ගණනාවක් ආවරණය කෙරෙන Buttala- Yudaganawa Exploration Tour ගවේශන චාරිකාවට එකතු පහදු වෙන්න බලාගෙන.... රාත්‍රි 10ට ලේක්හවුසියෙන් පිටත්වෙන පත්තර බස්එකේ කතරගමට ගිහින් එතැනින් බුත්තලට යන්න සැලැසුම් කරපු පිරිසට සංවිධානය කරපු මමත්, කසුන්,අසුරංග,ළහිරු,දුල්කිත්, මධූප සහ හර්ෂ කියන පිරිසත් ඇතුළත්  වුණා.... නුවන් රත්නපුරෙනුත් දමින්ද කතරගමිනුත් අපිට එකතු වුණා... 

මුහුණු පොතේ හෘදයාංගම සුනිල් ප්‍රේමචන්ද්‍ර මහත්මා ගේ ආරාධනයෙන් කතරගම නගරාසන්නයේම පිහිටි ඔහුගේ Senuri Holiday Resort වෙත ගිය අපිට ඉහළම සැළකිල්ලක් ලැබුණා... (නිකම් ගිය අපිට එහෙමනම් මුදල් ගෙවා එන පිරිසට කොහොමට සළකනවා ඇද්ද කියලා අපිට හිතුනා...කතරගම එහෙම යන වෙළාවක 0771578301ට කතාකරලා වෙන්කරගෙන ඒ ආගන්තුක සත්කාරයේ චමත්කාරය ඔබත් අත්විඳින්න.) සීතල උදෑසනේ උණුසුම් ආගන්තුක සත්කාරයෙන් සන්තර්පණය වුණු අපි උදේ 7ට කතරගමින් කුරුණෑගල යන බස්රථයේ බුත්තලට ගියා... බුත්තලදී අපේ ගමන් නඩයට ජගත් රේණුක මාධ්‍යෙව්දියාත්, දඹේගොඩ ජිනදාස මාධ්‍යෙව්දියාත්, එකතු වුණා... බුත්තල වෑන් පාර්ක් එකේ ආනන්ද අයියාගේ වාහනයට ගොඩවුණු අපි අපේ වැඩසටහන පටන්ගත්තා.... 


මුලින්ම ගියේ යුඳගනාවට..... යුඳගනාවේ වග විස්තර බලාගත්තු අපි ඊළඟට කළේ එකිනෙකා හඳුනාගැනිම, ඊට පස්සේ උදේ ආහාරය විදියට පොල් වලට වඩා ඊස්ට් දාපු පොල්  රොටී එක්ක ලැබුණු කොච්චි ලුණු මිරිසකට වගකිව්වේ යුදඟනාව පන්සල ගාව වාහන නැවැතුම්පොලේ රේණු අක්කගේ කඩෙන්....රොටි කාලා බෙලිමල් කෝප්පෙකුත් බිව්ව අපි  ඊට පස්සේ ගියේ යුදගනාව වැවට.... පණ්ඩිතයින්ට ඒදණ්ඩේ යන්න බැහැ
 කියලා කිව්වට අපේ පණ්ඩිතයින් පිරිස යුඳගනාව මඩ සොරොව්වෙන් එගොඩ වුණේ ඒදණ්ඩෙන්....  ඌව වෙල්ලස්සසේ අධිරාජ්‍ය විරෝධි කැරැල්ලේ ඉඳන් පැල්වත්ත සීනි සටන, 1988-89 භීෂණය ආදියත් මෑත කාලීන ඩෝල් සටන දක්වා  කාලයත් අතරතුර ඌවේ ජන ජීවිතයට වුණු විපර්යාස ගැන අපේ මාධ්‍යෙව්දි සගයින් එක්ක සංවාදෙයක හිටිය අපි වැව් බැම්ම දිගේ කෙළවරටම ඇවිදගෙන ගියා.... 



අවසානයේ වැව්මාළුත්, කංකුන් බැදුමත්, වල් අල හොද්දත් එක්ක නිවුඩු හාලේ බත් දවල් කෑම විදිහට  වැව් තාවුල්ලෙම ගත්ත අපිට දිනිත් සහෘදයාත් එකතු වුණේ අතුරු පසට යෝගට් සංග්‍රහයකුත් අරගෙන.... දවල් 
කෑමෙන් පස්සේ ආපහු බුත්තල නඟරයට ආව අපි ඔක්කම්පිටිය පාරට හැරුණේ අපේ මීළඟ නැවැතුම වන දෙමටමල් විහාරයට පාර හොයාගෙන....සුන්දර කෙත්වතු, තැනින් තැන ඉහළට නැඟෙන ශේෂ කඳු මැද්දෙන් ,
සුන්දර කාපට් පාරක් දිගේ ගිය අපි කුඹුක්කන් ඔය පාළමෙන් එගොඩ වෙලා ටික දුරක් ගියවිට හමුවන අතුරු පාරකට හැරිලා දෙමටමල් විහාරේ හොයාගෙන ගියා.... කරල් පැසෙන සුන්දර කුඹුරු යායක මැද්දේ තියෙන 
දෙමටමල් විහාරය ඈතට ලස්සනට පෙනුනා...විහාරේ තොරතුරු හොයාගෙන ඇවිදලා බලපු අපි විහාරාධිකාරි හිමියන් සමගත් අදහස් හුවමාරු කරගෙන ඔක්කම්පිටිය නගරයට ආවා... දිය පිපාසය නිවාගන්න තැඹිලි 
ගෙඩි කිහිපයක රස බැලූ අපි ඊළඟට ගියේ ගල්ටැම්මණ්ඩිය රජමහා විහාරෙට.... එහි තවත් යටික වේලාවක් ගත කරපු අපිට ඊළගට එකතු වුණේ විද්‍යුත් මාධ්‍ය වාර්තාකරුවෙකු වන ධම්මික සහෘදයා... පුංචි ආසිරි මල් 
වැස්සක් කඩාගෙන වැටිලා මාළිගාවිලට පිවිසෙන අපිව පිළිගනිද්දි කුඹුක්කන් ඔයේ ඉඳන් කුඹුරු යායවල් කරා ගලා යන කෙත් ඇළක ගිලී ගලී නෑව අපි සවස 6 වෙද්දි මාළිගාවිල නවාතැනට ආවා...



ඊළගට අපේ වැඩසටහනේ සංවාදශීළී ඉසව්ව ආරම්භ වෙන්නට නියමිතව තිබුණු අතරතුරේ තේ පැන් පොදක සහ කිරි ඉරිඟු කරළක රස බලන්න පිරිස අමතක කළෙත් නෑ... කිහිප දෙනෙක් නම් වැස්සේ සිතල මකා ගන්න උණු උණු ආප්පයි ලුණු මිරිසුයි කාලා එන්න කඩමණ්ඩිය පැත්තට ගියා... ඒ පිරිස ආපහු එන්න කළින් නියමිත වේලාවට අපේ සංවාදශිලී වැඩසටහන ආරම්භ වුණේ අතීත ඌවේ වගතුග විස්තර ගැන ජනකවි, ජනප්‍රවාද වල සත්‍යතාවය විමසා බලමින්... මේ වැඩසටහනට සම්පත්දායකත්වය දුන්නේ ශාස්ත්‍රපති සංඝදාස සරණතිස්ස මහත්මා....දවසේ  වෙහෙස සහ පරිසරයේ චමත්කාරය විඳිමින් සුව නින්දක පහස වුවමනා නිසාම වැඩසටහන රාත්‍රි 9ට පමණ අවසන් කළත් කාට කාටත් ඒ වැඩසටහන දිඟින් දිගටම ඇදගෙන යාමේ වැදගත්කම නම් තදින්ම දැනිලා තිබුණා..... ඒ සමඟම ධම්මික සොයුරාගේ මැදිහත්විමෙන් කුරහන් තළපත්, කොල්ලු මිශ්‍ර ආනමත්, මස් හොද්දත් උණු උණුවෙම ලැබුණේ පෙරේතකම ඉහවහගෙන සප්පායම් වෙන්නට බඩගෙඩි කුඩාවීමේ කණගාටුව ගොඩක් දෙනෙකුට දැනෙන්න.... අමාරුවෙන් තළප එකහමාරක් බඩේ දාගෙන නින්දට ගිය අපි පහුවදා උදේ පහමාර වෙද්දි අපේ දෙවැනි දවසේ වැඩ සටහනට සූදානම් වුණා.....


උදේ හත වෙද්දි උදේ කෑමට රතු බතුත්, පොල් සම්බොලුත්, සැමන් බැදුමකුත් ලැබුණේ බඩේ පණුවන්ට පැය කිහිපයක ව්‍යායාමයක් දෙන්න. ගෙනත් විනාඩි දහයක් යන්න කළින් බත් පළඟාන වාෂ්ප වුණා.... ඒ නිසා ඒකේ රස ගැන හිතාගන්න පුළුවන් වේවි කියලා හිතනවා...වෙනදට ශෛවර් කඩෙන්, කොත්තු කඩෙන් බඩෙන් බාගයක් කන කට්ටිය බඩ උල් වෙන්න බත් කෑවහම බඩේ පණුවන්ට තරහා ගියාද මන්දා..... ඒවා ගැන හිතන්න හිතේ ඉස්පාසුවක් නැති අපි,  අපේ පරිසර නිරීක්ෂණ චාරිකාවට යන්න මංගල මල්ලිගේ මැක්සිමෝවට ගොඩවුණා.... නියදැල්ල  පහුකරගෙන හුලංදාඔයටත්, කුඹුක්කන් ඔයටත් මැද්දෙන් යාල කැලේ පැත්තට ගිය අපි රාත්‍රී වැව, නියදැල්ල ගම, කුඹුක්කන් ඔය, ආශ්‍රිත සුන්දර ඉසව්වක පැය කිහිපයක් අතරමංවුණා.... ඒ ඇසදුටු සුන්දරත්වයෙන් පුංචිම පුංචි අහුරක් විතර කැමරා කාච වල සටහන් කරගන්න අපිට පුළුවන් වුණා... (අපේ මුහුණුපොතේ සමූහයෙන් ගොඩක් ඡායාරූප නරඹන්න පුළුවන්)



අනතුරුව ආපහු මාළිගාවිලට ඇවිත් පිළිම නැරඹිමට ගිය අපි දහවල් බතත්, වැව්මාළුත්, පරිප්පුත්, තුඹ කරවිලත් සමඟ රස විඳලා මංගල මල්ලීගේ මැක්සිමෝවෙන්ම බුත්තල, වැල්ලවාය පහු කරගෙන ඇල්ලටම ළඟා වුණා...ජගත්, දිනිත්,ධම්මික සහෘදයින් මාළිගාවිලෙනුත්, දමින්ද,  ළහිරු බුත්තලිනුත්, නුවන් වැල්ලවායෙනුත් සමුගනිද්දි ඉතිරි පිරිස ඇල්ලදුම්රිය පොළට ඇවිත් වැඩසටහන සාර්ථකව අවසන් කළා... පොඩිමැණිකේ දුම්රියෙන් බදුල්ලට ආව අපි රාත්‍රී තැපැල් දුම්රියේ ආපසු කොළඹ එන්නට සූදානම් වුණා.. හර්ෂ බදුල්ලෙන් පස්සරට පිටත් වුණු අතර ඉතිරි පස්දෙනා 25 පාන්දර  දුම්රියෙන් කොළඹට ඇවිත් වැඩසටහන සාර්ථකවම නිමා කළා.....

අපේ මීළඟ චාරිකාවත් සුන්දර යාල ආශ්‍රිත වන ගවේශන චාරිකාවක් සංවිධානය වෙන්න නියමිතයි. ඔබටත් අප සමඟ එකතු වෙන්න පුළුවන්...  ඒ සඳහා 076-6642607 අමතන්න. 

අපේ ගවේශන වැඩසටහනේ හමුවූ වැදගත් ස්ථන වල තොරතුරු ඇතුළත් PDF ගවේශන සටහන මෙතැනින් ලබාගන්න. 

අපේ මුහුණු පොතේ සමූහය සමඟ මෙතැනින් එකතු වෙන්න. 


ඡායාරූප අයිතිය - දුල්කිත් සාරංග/ දමින්ද ප්‍රසාංගික


1 comment:

  1. Merkur Slots Machines - SEGATIC PLAY - Singapore
    Merkur https://septcasino.com/review/merit-casino/ Slot 바카라 사이트 Machines. 5 star rating. ventureberg.com/ The Merkur Casino game was the first goyangfc to feature video slots filmfileeurope.com in the entire casino,

    ReplyDelete