See Also

Tuesday 6 June 2017

දුම්බර වනන්තරේ සැඟවුණු මිනිස් ප්‍රාණීන් සොයා මීමුරෙන් ගලමුදුනට.........

මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක වල හෙක්ටයාර 21000 ක් පුරා ව්‍යාප්තව පවතින සුවිශේෂී ලෝක උරුම පරිසර පද්ධතියක් ලෙස නකල්ස් රක්ෂිතය හැඳින්විය හැක. සුදු ජාතිකයින් විසින් එහි පිහිටි කඳුමුදුන් වල හැඩය නිසා ‘නක්ලස්’ යනුවෙන් හැඳින්වූවද අතීත ලාංකිකයාට මේ වන ගොමුව පොදුවේ  “දුම්බර වනපෙත” නම් විය. එහි නැගෙන හිර අන්තයේ  බට ගස් බහුලව පැවති අඩවිය ඒ ආශ්‍රිත ගැමියන්ට “බටදඬුකැලේ” වනවිට තෙල්දෙණිය අන්තයේ කඳුකර වනාන්තර පද්ධතිය “කුරුගස්කැලේ” නම් විය. තවදුරටත් වෙනස්ව විහිදී ගොස් මාතලේ ආශ්‍රිතව පැතිරෙන පතන වනාන්තර පද්ධතිය  “පිටවල පතන” නමින් හඳුන්වා ඇත. එසේම ඉහළ කඳුකරයේ පිහිට වනාන්තර කළාපය "වළාකුළු ගොන්න" යනුවෙන්ද අපේ පැරැන්නන් හඳුන්වා ඇත.

එකම වනගොමුවකට ප්‍රාදේශීයව ව්‍යවහාරයන් බිහිව තිබීම නිසා පැහැදිලි වන ප්‍රධානම කරුණක් වන්නේ අතීතයේ සිටම නකල්ස් වනය මැද තැනින් තැන හුදකළා ජනපදයන් පැවැති බවය. දැනටද  හෙක්ටයාර් 21000ක් පුරා පැතිරෙන නකල්ස් වනයේ තැන තැන පිහිටි හුදකළා ගම්මාන ගණනාවකි. මුහුදු මට්ටමේ සිට මීටර් 1000 කට වඩා වැඩි උසකින් යුක්ත කඳු මුදුන් 35 කින්, මීටර් 1500 කට වඩා වැඩි උසකින් යුක්ත කඳු මුදුන් 20 කින් සහ මීටර් 2000 කට වඩා වැඩි උසකින් යුක්ත කඳු මුදුන් දෙකකින් සමන්විත නකල්ස් වනාන්තරය තුළ නිළ සංඛ්‍යාලේඛණ අනුව පවතින  ගම්මාන ගණන 86ක් පමණ වේ. ලෝකයේ කුඩාම ගම්මානය ලෙස හඳුන්වන පවුල් හතක් පමණ වෙසෙන ‘වල්පොළමුල්ල’ ගමද, චිර ප්‍රසිද්ධ මීමුරේ ගමද අයත් වන්නේ මේ ගම්මාන ගොන්නටය. ඒවාට අමතරව රණමුරේ- කයිකාවල- ගලමුදුන- උඩගල්දෙබොක්ක- කළුගල- දෙහිගොල්ල ආදී හුදකළා මිනිස් වාසයන් ගනණාවක් පවතී. මේ ගම්මාන එකිනෙකින් ඈත්ව පිහිටා තිබුණද, මේ ගම්වල දැකිය හැකි සුවිශේෂම ලක්ෂණය වන්නේ ඒ ඒ ගම් අතර ආවාහ-විවාහ ඥාති සබඳතා අතීතයේ සිට අද දක්වාම දකින්නට හැකි විමයි.

බාහිර ලෝකයේ ජනයා අතර එතරම් ප්‍රසිද්ධියක් නොමැති නකල්ස් වන මැද පිහිටි එවැනි ගම්මානයක් සොයාගෙන යන්නට පසුගියදා MegaaHike අපට අවස්ථාව ලැබිණි. ශ්‍රි ලංකාවේ සෙසු ප්‍රදේශවල වෙසෙන පුරවැසියන් හා සමාන අයිතිවාසිකම් ලැබිය යුතු පවුල් තිස්තුනක සාමාජිකයින් අසූවක් ගම්වැසියන් ලෙස දිවිගෙවන මේ ගම්මානය පිහිටා ඇත්තේ නකල්ස් ජෛවගෝල රක්ෂිතයේ නැගෙනහිර සිමාවට ආසන්නව හීන්ගඟ මායිමේය. නමින් ‘ගලමුදුන’ වන මේ ගම අයත්වන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ හසළක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටය.
මේ ගම්මානය සඳහා ප්‍රධානම ගමන් මාර්ගය වැටී ඇත්තේ හසළක සිට හෙට්ටිපොළට දිවෙන මාර්ගය ඔස්සේය. එම මාර්ගයේ කොළොන්ගොඩට ගොස් එතැනින් හීන් ගඟ ආසන්නයෙන් ඇති ගුරුපාර දිගේ සැතැපුම් කිහිපයක දුරක් පාගමනින් යා යුතු ප්‍රධාන මඟට අමතරව මීමුරේ සිට හීන් ගඟ ඉවුර දිගේ ඇති සාම්ප්‍රදායික අඩි පාර දිගේ සැතපුම් හතක පමණ දුරක් ගෙවා ‘ගලමුදුන’ට ළඟාවිය හැක.

උපරිමයෙන් පරිසරය විඳිමින් ගලමුදුන ගමට යා හැකි මාර්ගය මීමුරේ සිට ගලමුදුනට වැටී ඇති  සාම්ප්‍රදායික අඩිපාර නිසා අපේ පිරිවර තෝරාගත්තේ ඒ මඟය. නියමිත දිනට පෙර දින  මහනුවරින් හුන්නස්ගිරියටත් එතැනින් මීමුරේට යාමට ඇති එකම පොදු ප්‍රවාහන මාධ්‍යය වන ලොක්කාගේ එල්ෆ් වෑන් රථයටත් ගොඩවූ අප මීමුරේ ගමට ගොස් ‘අබේකෝන් මාමාගේ’ ගෙදර නවාතැන් ගත්තෙමු.

මීමුරේ ගම කෙළවරින් අහස සිඹින ‘ලකේගල’ කන්දට පසුදින උදෑසන ළහිරු කිරණ පතිත වන සැනින් සූදානම්ව එළියට බසින්නට බලාපොරොත්තු වූ අපිට අබේකෝන් අයියාගේ ගෙදරින් සැකැසූ  කැකුළු කිරිබත නම් මගහැර යන්නට නොහැකිවිය. නඟරයේ මෙන් තැනින් තැන ආපනශාලා හෝ වෙළදසැල් නැති නිසාම අතරමඟ හමුවන නිවෙසකින් පිසින කෑමක් හැර වෙනත් යමක් කුසගින්නට පිහිට නොදෙන බැවින් යළි ගලමුදුනට යනතුරු කිසිදු ගම්මානයක් අතරමඟ හමු නොවන බැවින්ද ඒ ‘කිරිබත’ හැර පිහිටට යමක් වේ නම් ඒ අපේ පිරිවර සතුව තිබූ බිස්කට් පැකට් කිහිපය පමණි. බිස්කට් වලට වඩා ශක්තිජනක බවින් සහ ගුණයෙන් වැඩි ඒ කිරිබත රසයෙන්ද අනූන නිසා, මොහොතකින් බත් පළඟානාව පමණක් ඉතිරි කර අබේකෝන් අයියාගේ බිරිඳට ස්තූතිවන්ත වෙමින් අබේකෝන් අයියාද පෙරටු කොටගෙන අපි ‘ගලමුදුන’ ගම වෙත ගමන් ඇරඹුවෙමු.

වරෙක සැගවෙමින් වරෙක මතුවන ‘ලකේගල’ කන්ද පාමුලින් හීන් ගඟේ අතු ගඟක්වන දිමිගොල්ල ඔය ගලා බසී. මීමුරේ ගම්මානයෙන් එපිටට විහිද යන සම්ප්‍රදායික මාර්ග තුනකි. ඒ කළුපහන කන්දටත්, නාරංගමුව ගමටත් සහ  දන්දෙණිකුඹුරටත් ලෙසිනි.  නාරංගමුවවට යාමට දිමිගොල්ල ඔය තරණය කල යුතුය. හුන්නස්ගිරියට ප්‍රවාහන පහසුකම් නිර්මාණය වන්නට පෙර අතීතයේ සිටම මීමුරේ ජනයා ලුණු, කරවල සහ වෙනත් ආගන්තුක අඩුම කුඩුම වෙනුවෙන් ලග්ගලට ගියේ  එම නාරංගමුව පාර දිගේය. කළුපහන කන්ද දක්වා යන මාර්ගය වැටී ඇත්තේ දිමිගොල්ල ඔය ඉවුර දිගේ එහි ඉහත්තාව දෙසටය. අප යායුතුව ඇත්තේ දිමිගොල්ල ඔය දිගේ පහලට ඇදෙන දන්දෙණිකුඹුර මඟදිගේය. මී මුරේ බෝගස පාමුළින් පහළට බට අපි  සරුසාර මීමුරේ කුඹුරුයායේ නියර දිගේ පහළට බැස්සෙමු.

“අර අතන පුවක් මණ්ඩිය අයිනේ අරලියා ගහක් පේනවා නේද?”

අපේ මඟ පෙන්වන්නාගේ හඬ අවදි වේ...අපි විමසිල්ලෙන් ඔහු පෙන්වන මානය බැලුවෙමු.
“ඔව්... එතැන ගල් ලිඳක්ද තියෙන්නේ...”

“ඔව්.. ඕක ගැන හොඳ කතාවක් තියෙනවා... ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ සුද්දන්ට අහුවුණේ බෝමුරේදි... රජතුමාගේ ඊළඟ නවාතැන වෙන්න තිබුණේ මීමුරේ... ඒ වෙනුවේන සූදානම් කරපු ගෙට අදත් කියන්නේ උඩ වළව්ව කියලා.... එතුමාගේ අන්තංපුර කන්තාවො හිටිය ගෙදරත් තාම තියෙනවා.. ඒකට කියන්නේ පල්ලේ වළව්ව කියලා... දැන් නැති වුණාට ඒ කිට්ටුවම තිබුණා මැද වලව්ව කියලා තැනක්.. එතැන හිටියේ අග බිසවගේ දූවරු දෙන්නා... ඒ දියණිවරු නාපු ළිඳ තමා ඔය තියෙන්නේ...”

‘ඉතින් මේ ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දන්නේ නැද්ද?’

‘කාලෙකට කළින් ඇවිත් බලලා ගියා... එතකොට මැද වළව්වත් යහතින් තිබුණා .. ඊට පස්සේ නම් ආවෙ නෑ...දැන් මැද වලව්ව කඩල එතැන අළුත් ගේකුත් හදල....’

හිත රිදෙන,  දුක හිතෙන කතතන්දර අසමින්, සරුසාර කුඹුරු මැද්දෙන් අපි මීමුරේටම ආවේණික කළුගල් වැටි පසු කරමින් රුප්පේ නමින් හඳුන්වන මහා මී ගහක් අසළට පැමිණියෙමු.

‘මෙතන තමයි මේ ගම වෙනස් කරපු තැන’

‘ඒ කියන්නේ’

‘සූරිය අරණ චිත්‍රපටිය කලේ මෙතැන වටපිටාවේ... ඒකෙන් තමා මේ ගම ලෝකෙට ගියේ....’

‘ඉතින් නරකද?’

‘නරකක් නෑ... අපේ අතමිට සරුවුණා... ඒත් ගමේ නිස්කලංක බව නම්  නැතිවුණා තමා’

අවිනිශ්චිත බැල්මකින් දිගු හුස්මක් හෙළූ ඔහු රුප්පේ අසළින් ගලින් ගලට පැන දිමිගොල්ලේ ඔයෙන් එගොඩට යන්නට මුල පිරුවේය. අපි ඔහු අනුගමනය කළෙමු.


දෙපසින්ම මහ වනයක ගුප්ත බව මුසු වෙමින් ගලගන්නට තතනන අඩි පාරක් දිගේ අපි ඇවිද යමින් සිටිමු. නූස් ගස් මුදුන් වලින් පෙරී එන උදා හිරු වරින් වර අපේ මුහුනු දෙස සෘජුවම විපරම් කරන බැවින් අපි වනයේ නැගෙනහිර දෙසට ඇවිද යන බව නම් පැහැදිලිය. මඟ පෙන්වන්නා සහ අප අතර දුර මිටර විස්සක් තිහක් පමණ වේ. හුරුපුරුදු ඔහුට මේ ගමන සාමන්‍ය ගමනක් වුවද නුහුරු අපිට හමුවන සෑම ගහක් කොළක්ම ආගන්තුකය. ඒවා දෙස බලන්නටත් ඒවා විඳින්නටත්, කැමරා කාච තුළ සටහන් තබා ගන්නටත් අපට අවැසිය. නිතර නොදකින වර්ගයේ කුහුඹුවන්, මකුළුවන් සමනළයින්, ගොළුබෙල්ලන් සේම කෘමීන්ද මොහොතින් මොහොත හමුවේ. ජෛව ඝනත්වය සැලැකූ කළ නක්ල්ස් ජෛවගෝල රක්ෂිතය බෙහෙවින්ම පොහොසත්ය. ඒ ගැන නිළ පරික්ෂණ වාර්තා පවසනුයේ පහත සඳහන් තොරතුරුය.

මෙම වනාන්තර ප්‍රදේශයෙන් වාර්තා වි තිබෙන පක්ෂි විශේෂ 128 අතුරින් විශේෂ 17 ක් ලංකාවට ආවේණික වේ.  නකල්ස් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන විශාලතම පක්ෂියා කළු රාජාලියා  වන අතර, කුඩාම පක්ෂියා මෙරටට ආවේණික සිතැසියාය.  කොට්ටෝරුවන්, ගිරා මලිත්තන්, පිළිහුඩුවන්, පීතකන් කොණ්ඩයා, දෙමලිච්චන් ශාරිකාවන්, කැහි බෙල්ලන් මෙම මීදුමින් වැසුණු සුන්දර වනාන්තරයේ සුන්දරත්වය තවදුරටත් තීව්‍ර කරයි. දුම්බර කඳු පන්තිය පක්ෂී විශේෂ 128 කට, උභයජීවී විශේෂ 20 කට, සමනල් විශේෂ 60 කට, මොලස්කාවන් විශේෂ 17 කට, ක්ෂීරපායින් විශේෂ 31 කට, උරගයින් විශේෂ 53 කට සහ මත්ස්‍යය විශේෂ 15 කට වාසස්ථාන සපයයි.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙන පෘෂ්ඨවංශීන් අතුරින් පිලිප්ගේ ගාරා, දන්කුඩු පෙතියා සහ දුම්බර පෙතියා යන මිරිදිය මත්ස්‍ය විශේෂ 3, දුම්බර ගල්පර මැඩියා සහ අං කටුස්සා ද ආවේණික සත්ව විශේෂ වන අතර හුදෙක් දුම්බර කඳු වැටියටම සීමා වී තිබේ.වල් ඌරා, වල් හාවා සහ මී මින්නා නකල්ස් වන පෙත තුලදී සුලභව හමුවන ක්ෂීරපායීන් වේ.  ඉතාමත් විමසිලිමත් දෑසකින් වනාන්තරයේ සුන්දරත්වය දකින සංචාරකයින් හට මුවන්, ගෝනුන්, අලින්, මී හරක්, උනහපුළුවන්, හිවලුන්, මුගටි, රිලව්, කොළ වඳුරන්, ලේනුන්, උරුලෑවන්, රන් හෝතඹුවන්, ඌරු මීයන් සහ ඉත්තෑවන් නැරඹීය හැකිය.
ගල්පරවල පැළුම් තුළ සහ ගස් බෙන තුළ පක්ෂීන් ආහාරයට ගන්නා මකුළුවන් සිටිනු කලාතුරකින් දැකිය හැකිය. Orsotraeina medus සහ Melanitis leda යන සමනල් විශේෂ වනාන්තර භූමියේ සිටිනු දැකිය හැකිය.  මොවුන් කුණු වී යන පළතුරු, සතුන්ගේ මළ ද්‍රව්‍ය සහ දිරාපත් වන වෘක්ෂලතා කොටස් මත යැපේ. Kallima philarchus සමනළ විශේෂය පොළව මත වැටී තිබෙන වියළි ශාක පත්‍රවලට ඉතාම කිට්ටු සමානතාවයක් පෙන්නුම් කරයි.   තව ද ආවේණික සමනල විශේෂ දෙකක් වන Troides darsius සහ Papilio polymnestor ද නකල්ස් වනාන්තරයෙන් වාර්තා වී තිබේ. මොවුහු ලංකාවේ සිටින විශාලතම සමනල විශේෂ අතරට වැටේ.


මේ සුන්දරත්වය අක්ෂි කාච සහ කැමරා කාච වලට උකහා ගනිමින් හෙමින් ඇවිද යන අපි ගැන මඟපෙන්වන ‘අබේකෝන්’ අයියාගේ පැහැදිමක් නැති සේය.
‘ගලමුදුනට යන පාරේ අලි ඉන්නවා.. හවස් වෙන්න කළින් ආපහු එන්නත් ඕන... පොටෝ අල්ල අල්ල හිටියොත් අලින්ට මැදිවෙන්නයි වෙන්නේ....’
ආගන්තුක අපට වනාන්තරය විසිතුරු වූවද හුරුපුරුදු ඔවුන්ට පෙනෙන්නේ එහි භයංකර බවය. එහි ඇති අවදානම ගැනය. තරමක් අකමැත්තෙන් වුවද අපි පය ඉක්මන් කරමින් ඔහුගේ ගමන් තාලයට එක්වන්නට උත්සහ කළෙමු.
මීමුරේ ගම අවසානයේදී  දිමිගොල්ල ඔය හීන් ගඟට එකතු වේ. කිලෝමීටර දෙකක පමණ ගමනකින් පසු  දැන් අප ඇවිද යන වන මං පෙතට පහළින් ඇසෙන්නේ නකල්ස් රක්ෂිතයේ නොදන්නා ඉසව්වකින් ඉපිද දෙහිඅත්තකණ්ඩියට ආසන්නයෙන් මහවැලි ගගට එක්වන හීන් ගඟේ පෙන විසිරෙන හඬය. නකල්ස් වනාන්තරය නොඉඳුල් වනාන්තරයක් වුවද එහි තෝරාගත් බිම් වල අතීතයේ සිටම මිනිස් ක්‍රියාකාරකම් සිදුව තිබේ. අදද සිදුවේ. තැනෙක අක්කර කිහිපයක් පුරා විහිදෙන කුඹුරුය. තැනෙක ගව ගාල්ය. තවත් තැනක බඩඉරිඟු හේන්ය. යුනෙස්කෝ ආයතනය විසින් නකල්ස් රක්ෂිතය ලෝක උරුමයක් බවට පත්කරන්නේ මේ මිනිස් ක්‍රියාකාරකම් ගැන නිසි අවබෝධයකින් පසුවය. අප මීමුරේ සිට දන්දෙණිකුඹුර හරහා ගලමුදුන යන මේ වන මං පෙතද යුනෙස්කෝව විසින් සාම්ප්‍රදායික වන මං පෙතක් ලෙස පිළිගෙන විධිමත්ව සිතියම් ගත කර තිබේ.


පැය එක හමාරක පමණ ගමනකින් අනතුරුව අපි හීන්ගඟ ඉවුරට පැමිණියෙමු. ඉන් ඉදිරියට අපේ මාවත වැටී ඇත්තේ හීන් ගඟට සමාන්තරවය. වනගොමුවේ ඝණ බව කෙමින් වියැකී යයි. ඉන් අනතුරුව අප පිවිසියේ සරසාර පොල් වගාවක් සහිත බිමකටය. පොල් ගස් සරුවට වැඩුනද ඒවායේ පැසුනු ගෙඩි නම් පෙනෙන්නට නැත.  තවත් ටික දුරකදී ගරා වැටුනු  නිවාස කිහිපයක නටඹුන්ද හමුවිය.

‘දැන් අපි ඉන්නේ දන්දෙණීකුඹුර ගමේ... දැන් මේ ගමටම පදිංචි එක මනුස්සයයි’
ඒ කතාවේ ඇත්ත නැත්ත සමඟ මීළඟ ලිපියෙන් හුමුවෙමු.
ඔබටත් අප සමඟ එකතු වෙන්න පුළුවන්...  ඒ සඳහා 076-6642607 අමතන්න. 

අපේ මුහුණු පොතේ සමූහය සමඟ මෙතැනින් එකතු වෙන්න. 


MegaaHike කණ්ඩායම වෙනුවෙන්
චාරිකා සටහන  -ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ


4 comments: