See Also

Tuesday 13 June 2017

පා ගමනින් දන්දෙණිකුඹුරට- හීන් ගඟෙන් එතෙර වෙලා ගලමුදුනට.........

නකල්ස් වන මැද සැඟව පිහිටි සාම්ප්‍රදායික ගම්මැදි වල දිවිගෙවන සරල මිනිසුන් පිළිබඳ කණින් කොණින් අසා තිබුණු කථාන්තර වල සත්‍යය සොයා මීමුරයේ සිට දන්දෙණිකුඹුර හරහා ගලමුදුනට ගිය අපේ චාරිකා සටහනේ මුල් කොටස පෙර අවස්ථාවක පළ කළෙමි. මේ එම චාරිකා සටහනෙහි දෙවැන්නයි...

පෙර චාරිකා සටහන සඳහා මෙතැනින් පිවිසෙන්න. 

බොළඳ ළියන් කර ඔසවා බලන බැලුම් -තුම්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්

‘එතකොට වල්පොලමුල්ල ලෝකයේ පොඩිම ගම වුණේ කොහොමද?  මේ ගමේ එක මනුස්සයෙක් ඉන්නව නම් මේකනේ පොඩිම ගම වෙන්න ඕන...’
‘මේක ආණ්ඩුවේ ලේඛණ වල තියෙන්නේ අතහැර ගිය ගමක් විදියට -මොකද මේ ගමේ ඉන්න එකම කෙනා  වෙන වෙද මාමගේ  පවුලේ අයගේ දැන් පදිංචිය විදියට ලියැවිලා තියෙන්නේ මීමුරය’ 


තවත් මීටර ගණනාවක ගමනකින් පස අපි දන්දෙණිකුඹුරේ මිනිස් ප්‍රාණියෙකුට වාසභවන වූ එකම නිවෙසට ගොඩවැදුණෙමු. තරමක් පැරණි පන්නයේ නිවෙසක් වූ එහි වහළ සෙවිල්ලා තිබුණේ උළු සහ තහඩු වලිනි. නිවෙසේ ජනෙල් සියල්ල වරිච්චි මැටි ගසා ආවරණය කර තිබිණි.
ගෙයි එක් පසෙක බිත්ති අලින් විසින් පෙරළා දමා තිබූ අතර වෙද මාමා සිදුකර ඇත්තේ නිවෙසේ ඒ කොටස අත්හැර දැමීමය. තනිව වෙසෙන ඔහුට ඉතිරි ඉඩ සෑහෙන නිසා යළි අළුත්වැඩියාවකින් තොරව අත්හැර දමා ඇති බව ඔහු පැවැසීය.
“පොල් ගෙඩි ටික දාලා තියන්න කාමරයයි, මට ඉන්න කාමරයයි තියෙනවා... සාලෙම ලිපක් බැඳගෙන උයං කනවා” යැයි පැවසීය.
එදින කරන්නට සුවිශේෂී රාජකාරියක් නොතිබූ නිසා අපිත් සමඟ ගලමුදුන ගමට යන්නට ‘දන්දෙනිකුඹුරේ මාමාද’ එකග විය.  එතෙක් හැඳ සිටි සරම වෙනුවට අපූරු ඇඳුමකින් සැරසී තලප්පාවක්ද හිස බැඳගත් ඔහු වක් පිහියක්ද, විට කන්නට අවශ්‍ය අඩුම කුඩුම මල්ලක්ද ගෙන අප සමඟ ගමනට එක් වූයේ නිවසේ දොර පවා වසා නොදමමිනි.
“මම උදේ මඩු පිටි ටිකකින් පිට්ටුවක් තම්බ ගත්තා...එන බව දැනගෙන හිටියනම් ටිකක් වැඩිපුර හදනවා...”
“මාමේ ඔය ඇදුම මොකද්ද? යටින් කළිසමක් වගේ උඩින් දෙපැත්ත කපපු සායක් වගේ”
“මේක තමා සරුවාලේ - ඉස්සර රජ කාලෙ ඉඳන් පිරිමි අය ඇන්ද ඇඳුමක්”

දන්දෙණිකුඹුරේ මාමාගේ ඉඩමේ සීමාව පසුකළ අපි ඊළඟට පිවිසුනේ මඩු ගස් යායකටය. අතිතයේ මෙරට තෙත් කළාපීය ජනයා නිතර දෙවේලේ ප්‍රයෝජනයට ගත් මඩු ශාකය දැන් අප වෙසෙන බස්නාහිර පළාතේ හෝ යාබද ප්‍රදේශ වල දක්නට ලැබෙන්නේ නැත. මඩු ගෙඩි වල මදය පදම්කර,  ඉන්පසු වේලා පිටිකර ගත් පසු පිට්ටු, රොටී සහ තලප සකසා ගැනීමට හැකි බව කීවේ දන්දෙණිකුඹුරේ මාමය. මඩු ගස් යාය කෙළවර වූයේ හීන් ගඟ ඉවුරෙනි.
ඊළඟ නිමේශයේ ගලන් ගලට පැන හීන් ගඟෙන් එගොඩ වන්නට අප පිරිසට සිදුවූ අතර දිය පොදකින් හෝ නොතෙමී සාර්ථකව ඒ ක්‍රමයෙන් එගොඩ වන්නට නම්  කණ්ඩායමේ සියළු දෙනාටම අවකාශ නොලැබිණි. සමහරු ආරම්භයේදීම අභියෝගයෙන් බැහැර ගිය අතර, ඉන්පසු ජල පහරට බැස ඇවිද යමින් එගොඩ වන්නට විය. කෙසේවුවද කැමරා ආම්පන්න දිවි දෙවැනි කොට රැකගැනීමේ වගකීම අකුරටම ඉටු කරන්නට අප සමඟ ගිය කැමරා ශිල්පීන්ට සිදුවිය.
“දැන් තමා අමාරුම හරිය.... වස්ගමුවෙන් මෙහෙට පැනපු අලි දෙතුන් දෙනෙක් අපි යන සාවියේ හක්කොළං කරනවා....  ඒ නිසා පරෙස්සමෙන් යමු...”

යළිත් ක්‍රමයෙන් ඝනවන කැලෑවේ,  වන මං දිගේ එකා පසුපස එකා යන නඩයක සාමාජිකයින් වූ අපි අසීරු මොහොතක එකිනෙකාට සහය වෙමින්ද, පසුපසින් එන අනෙකා ගැන විමසිලිමත් වෙමින්ද දණහිස බිම වදින නැග්මක නිරත වීමු. පැය භාගයක පමණ අසිරු ගමනකින් පසු හමුවූ සිහින් දිය කඩිත්තක් අද්දර නැවැතුනු අපි පෙර සකස් කරගත් ජීවනී සහ ග්ලූකෝස් මිශ්‍ර කර තැනූ ජල බෝතල් වල පිහිට පැතුවෙමු. බෑග්වල අසුරාගෙන ආ විස්කෝතු පැකට්ටු දෙක තුනකටද වග කීවෙමු.
එහෙත් එයට දායක නොවූ අබේකෝන් මාමාත්,  දන්දෙණිකුඹුරේ වෙද මාමාත් වෙහෙස නිවාගන්නට සිදු කලේ විඩක් හැපීමය. අපි දන්නා සුපුරුදු විඩට බුලත් අනිවාර්යය වූවත් දුම්බර මිනිසුන් බුලත් වෙනුවට යොදාගන්නේ “තලා” කොලය.  මදුරුතලා ලෙස හඳුන්වන තලා කොළයට වඩා තරමක් විශාල මේ තළා කොලය “හීන් තලා” ලෙසද හඳුන්වනු ලැබේ. අඩි දෙක තුනක් උස්ව වැඩෙන මේ ගසේ කොළ මින්ට් සැරකට සමාන සැරකින් සහ සැර සුවඳකින් යුක්තය. බුලත් හැපීමෙන් දත් වල බැඳෙන කහට මේවා හැපීමෙන් ඉවත්ව යාමක්ද සිදුවෙන බව කියයි.
දන්දෙණිකුඹුරේ සිට පැය දෙකක පමණ සීග්‍ර  නැග්මකින් පසු අපි තැන්නකට පිවිසියෙමු. පෙර සඳහන් කළ වන අලින් ගැවසෙන ප්‍රදේශය එය වූ අතර අපගේ වාසනාවට එහි ඒ වන විට අලි සිටියේ නැත. තැන්න කෙළවර කුඹුරු යායකි. ඉන් ඔබ්බෙහි කඳු වලල්ලකි. ඒ කඳු වළල්ලේ අඩ උසකින් ඈතන් පෙනෙන ගෙවල් මණ්ඩියකි.


‘අර පේන්නේ ගලමුදුන ගම තමා’.... ‘ඔහොම පෙනුනට තව පැයකට වැඩි ගමනක් තියෙනවා’
 අප සිටින තැන්න හාත්පසින්ම කඳු යායකි. නකල්ස් වනාන්තරයේ බොහෝ ස්ථාන වලට පොදු මෙම  හාත්පස දසුන බෙහෙවින්ම චමත්කාරජනකය. ඈතින් පෙනෙන කුඹුරු යායේ ගොයම් කපන ගැමි ගොවීන්ගේ ගොයම් කවි තාලයන් මදින් මද ඇසේ... ඒ ඇසෙන විට අප දකින්නේ හීනයක්දැයි සිතුනේ නිරායාසයෙනි.  ජීවිත කාලය පුරාවට සාහිත්‍ය කෘති වලින් කියැවූ ඒ සුන්දර අතීත කතාව  අප දෑස් කෙළවර චිත්‍රණය වී තිබේ... ඇසෙනා කවියක් දෙකක් හුරු පුරුදු ඒවා වූ අතර අනෙක්වා පෙර ඇසු මතකයක් නොතිබිණි.
රන් දෑකැති ගෙන නිති සැරසෙනවා
රත්ත්‍රං පටි ඉන වට දිලිසෙනවා
හිරුදුටු පිණිබිදු සුලඟේ යනවා
දුම්බර කෙතෙ- අපි ගොයම් කපනවා’’

“දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම්
මාවැලි ගඟේ දිය බැඳලා කෙත‍ට ගිලුම්
බොළඳ ළියන් කර ඔසවා බලන බැලුම්
තුම්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්”

පපුව පුරවා හුස්ම උරන්නට හැකි සිහිල් පවන් රැල්ලක් තැන්න හරහා ඇදී යයි. අපි ඉසිඹුව අවසන් කර යළි ගමන් ඇරඹූවෙමු. කුඹුක්, මී, රුක් අත්තන ආදී ගස් යායක් අද්දරින් ගලා යන සිහින් දොළ පාරකි. පතන මායිමෙන් ඇදී යන අඩි පාර ක්‍රමයෙන් දොළ පහරට සමාන්තරව ඇදී යයි...
“පරෙස්සමෙන්... ඔය වදුළු වල අලි නිදාගෙන ඉන්න ඉඩ තියෙනවා....”

පෙරට තබන අඩිය දෙවරක් විමසිළිමත්ව තබන්නට කටයුතු කළ අපි අවධානයෙන් යුතුව ඉදිරියට පියමැන්නෙමු.... අවසානයේ අප නැවතුනේ දොළ අද්දර ගල් තලාවකිනි. එතැනින් දොළෙන් එගොඩ වූ අපි කුඹුරු යායේ ඉහත්තාවට ගොඩ වූයෙමු. එතැන කමතකි. එහි කොළ මැඩුමකි. එහි ඡායාරූප කිහිපයක්ද ගෙන  කමතට නොබැස එය මඟහැර ගලමුදුන ගම දෙසට වූ අඩිපාරට පිවිස අපි යළිත් පිවිසියේ දණහිස පොළොවේ වදින තරමේ ආනතියකින් වූ කඳු නැග්මකටය. එම අසීරු බැවුමේ පහළට ලිස්සා යමින් නොයමින් උඩට යන අපි පුදුම කරවමින් දවස් කිහිපයකට පෙර හෙළූ වියළි ගිය අලි වසුරු ගොඩවල් කිහිපයක් හමුවිය. අපටත් යන්නට අසීරු මේ වන මං දිගේ අලි පැමිණ ඇති බවට එය කදිම සාක්ෂියකි. තවත් අඩ පැයක පමණ ගමනකින් අපි ගලමුදුනේ පළමු නිවෙස අබියසට පැමිණියෙමු.



මට්ටම් කරගත් ගෙමිදුලක සාමාන්‍ය පොළවට වඩා අඩි දෙකක පමණ උස් වූ   පස් පිරවුමක කටුමැටියෙන් ඉදිකර ඇති මෙම නිවස අඩි 10-12ක් පමණ දිගය. අඩි 8ක් පමණ පළලය. ඉදරිපස දොරක් සහ පසුපස දොරක්ද ජනේල දෙකක්ද නිවසටම වූ අතර නිවසට යාබදව වෙනමම කුස්සිය ඉදිකර තිබේ. නිවසේ ඇතුළත එක් බිත්තියක් පවතින අතර එයින් නිවෙස කොටස් දෙකකට බෙදා තිබේ. පොදුවේ ගම්මානය පුරාම නිවෙස් වල ආකෘතිය සමාන වූ අතර නිවෙස් වල ප්‍රමාණයන්ගේ වෙනස්වීම් දක්නට ලැබිණි.   මෙම නිවෙසට ඇස්බැස්ටෝස් ෂීට් අසුරා තිබුණද සමහර නිවෙසක පිදුරුද, ටකරන්ද සෙවිලි කර තිබිණි. බිමට ගොම ගා තිබූ අතර ඇඳක් ලී බංකු එකක් හෝ දෙකක්  පෙට්ටගමක් වැනි පෙට්ටියක්  ගෘහ භාණ්ඩ ලෙස දක්නට ලැබිණි.  අපිළිවෙලම පිළිවෙල ලෙස සලකා තැනින් තැන අදින ලද වැල් වල රෙදි දමා තිබුණු අතර ගෙතුළ සීමිත ගෘහ භාණ්ඩ කිහිපයට අමතරව පැවැතියේ වී ගෝනි කිහිපයක් පමණි.
අප “ගලමුදුන” ගමට ගිය දවස ඉරිදා වක් වූ බැවින්  එදින පාසැළට නිවාඩු දිනයක් විය. එබැවින් එහි ගුරුභවතුන් පවා නිවාඩු ගොස් තිබිණි. හසළක සිට රජකාරී දිනයට පමණක් ගමට පැමිණෙන ග්‍රාම නිළධාරි වරයාද එදින එහි නොසිටි අතර ගමේ සමෘද්ධි සමිතියේ ලේකම් රන්දුන්නේ මුදියන්සේලාගේ නිමල් හාමි අපේ විස්තර විමසිම් වලට පිළිතුරු සපයන්නට ඉදිරිපත් විණි. ඔහුගේ විස්තරයට අනුව ගමේ පවුල් තිස් තුනකි. ගම්වැසියන් අසූ ගණනකි. ඒ පාසැල් ළමුන්ද සමඟය. ඡන්දදායකයින් හැටකි. පාසැල අවුරුදු හතළිහක පමණ පැරණිය. එයට පහසුකම් අඩු නැත. අඩුවකට ඇත්තේ ළමුන්ය. උදාහරණයකට 2017 පහේ ශිෂ්‍යත්වය ලියන්නට ඉන්නේ එක් දරුවෙකි. සාමාන්‍ය පෙළ ලියන්නට එක් දරුවෙක්වත් නැත.  විහාරස්ථානයක් ඇතත් ස්වාමීන් වහන්සේ නමක් නැත. ගමට තිබෙන ප්‍රධානම ගැටළුව වතුරය. නමට සරිලන සේම කන්දක් මුදුනක ගම පිහිටා ඇති බැවින් හීන් ගඟට යාමට සැතැපුමක් පමණ පල්ලම් බැසිය යුතුය. කන්දෙන් ගලා එන පීල්ලට සැතැපුම් භාගයකි. පුද්ගලික දානපතියෙකු විසින් වසර කිහිපයකට පෙර සකස්කර දුන් ජලනල ව්‍යාපෘතියේ බට අලින් විසින් පාගා දමා ඇති නිසා එහි ජලය පාසැලට පමණක් සීමා වී තිබේ. ලොරියක් ඒමට පවා හැකි පළල් පාරක් ගමට තිබුණද අතරමග ස්ථාන දෙකකින් පාලම් ඉදිකර නැති නිසා එම මාර්ගයෙන් ගමට ප්‍රවාහන පහසුකම් සපයා ගැනී අසීරු වී ඇත. ඒනිසා හසළකට යන්නට ගිනිපෙට්ටි පාළම දක්වා සැතැපුම් 4ක් පමණ පයින් යන්නට සිදුව තිබේ.




ඔහුගේ විස්තර කථනයට සවන් දුන් අපි ඉන් අනතුරුව ඇවිද ගියේ ගමේ වැඩිහිටියා වූ ‘පේ මාමා’ සොයාගෙනය. ගමම නෑදෑයින් වූ අතර බොහෝ දෙනා රන්දුන්නේ මුදියන්සේ ලාගේ පරම්පරාවේ ඇත්තෝ වූහ. වළගම්බා රජ සමයේ පැවැති “බැමිණිතියා සාය”  සමයේ සිදුවූ සිදුවීමකැයි සිතිය හැකි කතාන්දරයක අග, මුල මැදට රාවණාද, කන්දේ බණ්ඩාර දෙවියන්ද සම්බන්ධ කර අපූරු පුරවෘතයක් ගොඩනඟා පරම්පරාවේ ඉතිහාසය අපට කියූ පේ මාමාගේ කතාව අසම්පූර්ණ සාහිත්‍යාංගයක් විය.  වයස අවුරුදු අසූවද ඉක්මවා ගොස් ඇති ඔහුව වෙහෙසවමින් එහි අසම්පූර්ණ තැන් පුරවාලන්නට නොකැමති වූ අපි යළිදු දිනයෙක පුරාවිද්‍යා දැනුමෙන් සහ සමාජ විද්‍යා දැනුමෙන් යුතු පිරිසක් සමග පැමිණ ඔහු හමුවන පොරොන්දුව පිට ඔහුගෙන් සමුගත්තෙමු.

කඳු වළල්ලකින් වටවූ අක්කර දහයක දොළහක පරාසයක විහිදුණු ‘ගලමුදුන’ ගමේ පදිංචිකරුවන්ගේ මහ කුඹුරුයාය පිහිටියේ ගමෙන් පිටතය. අප එන මඟ පසෙකින් කමත් කවි ඇසුණේද, කොළ මඩවිල්ලක්ද පැවැතියේ  ඒ කුඹුරුයායේය. ඊට අමතරව ගමේ නිවාස පිහිටි ඉසව්වේද  කුඩා කුඹුරු යායක් තිබේ. වී වගාවට අමතරව දුම්කොළ බඩ ඉරිඟු සහ මෑ, වැටකොළු, පතෝල වැනි ගොඩ එළවළු වර්ග ඔවුන් විසින් නිවාස ආශ්‍රිත බිම් වල වගාකර තිබේ. මෑතක සිට පුද්ගලික ආයතනයක මැදිහත් වීමකින් ගර්කින් වගාව ගලමුදුන ගමට හදුන්වාදී තිබේ. පවුල් විස්සක් පමණ එම සමාගම සමඟ සම්බන්ධ වෙමින් ගර්කින් වගාවේ යෙදෙති.



ගලමුදුන විද්‍යාලයේ සිසුන් විස්සක් පමණ ඉගෙනුම ලබති. විදුහල්පතිවරයා සමඟ තිදෙනෙකුගෙන් සමන්විත ගුරුමණ්ඩලයක් ඉගැන්විමේ යෙදෙති. අතිරේක වේලාවන් පවා යොදාගනිමින් ශිෂ්‍යත්වයට සහ සාමාන්‍යපෙළට පෙනී සිටින සිසුන්ට උගන්වන එම ගුරුභවතුන් ගැන ගම් වසියන්ගේ සහ සිසුන්ගේ ඇත්තේ ප්‍රසාදයකි.
සියළු දෙනා බෞද්ධයින් වන අතර ප්‍රාදේශිය දෙවිවරුන් ලෙස ‘කන්දේ බණ්ඩාර දෙවියන්’ සහ ‘අළුත් බණ්ඩාර දෙවියන්’ අදහන ඔවුන් , සාම්ප්‍රදායික වාර්ෂික දේව පූජාවන් අතර යක්කම සහ කෙම්මුර මංගල්‍යයන් පවත්වන බව පවසයි.



පැය කිහිපයක් තිස්සේ ඔවුන් සමඟ ගම පුරා ඇවිදිමින් සුහද පිළිසඳරක යෙදෙමින් වගතුග විමසූ අපි සවස තුන පමණ වන විට ඔවුන්ගෙන් සමුගන්නට තීරණය කළෙමු. ඒ යළිත් දිනෙක දුම්බර කඳුයාය මැද හුදකළාව වෙසෙන ඔවුන්ගේ අව්‍යාජ ජීවිතය විඳින අපේක්ෂාවෙනි.  එහෙත් ඒ පැතුම හිතළුවක් වන්නටද ඉඩ තිබේ. හුදකළාවෙන් මිදී කාර්යබහුලත්වයට මාරුවී අද දවසේ මීමුරයට අත්වූ ඉරණම නොබෝ දිනකින් හීන් ගඟ හරහා ඉදිකෙරෙන පාළමකින් බාහිර ලෝකය සහ සම්බන්ධ වන ඔවුන්ටද අත්විඳින්නට සිදුවනු ඇත. එහි මූලික අඩිතාලම දැනටත් වැටී හමාරය. 


එහෙත් බාහිර ලෝකය අත් විඳින නවීනත්වය ඔවුන්ට අකැපයැයි, එය අත්විඳිමින් සිටින අපට තීරණය කළ නොහැකි වුවද නවීනත්වයේ අප දකින අහිතකර සාධක මඟින් ඔවුන්වද වෙලාගෙන අව්‍යාජත්වය පළාගිය මිනිස්කම මුදලින් මනින සමාජයකට ඔවුන්ද ගොදුරුවීම ගැන කණගාටුවක් සිත තුළ ඇත.  ඒ සිතුවිලි දෙගිඩියාවෙන් ගලමුදුනෙන් පල්ලම් බසින අපිට හමුවුණේ වෙල් ඉපැනැල්ලේ ටෙනිස් බෝලයකින් සහ පොල්පිති පිත්තකින් ක්‍රිකට් ගසන ගැමි දරුවන් පිරිසකි. ඔවුන් සමඟ මද වේලාවක් සෙල්ලම් කරන්නටද ප්‍රමාද වූ අපි සැඳෑ අඳුරට පෙර දන්දෙණිකුඹුර කරා එන්නට පල්ලම් බැස්සෙමු. 
ඔබටත් අප සමඟ එකතු වෙන්න පුළුවන්...  ඒ සඳහා 076-6642607 අමතන්න. 

අපේ මුහුණු පොතේ සමූහය සමඟ මෙතැනින් එකතු වෙන්න. 


MegaaHike කණ්ඩායම වෙනුවෙන්
චාරිකා සටහන  -ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ

4 comments:

  1. ගම දියුණු උනාට කමක් නෑ ඒක වැරදි පැත්තට වෙන එකයි අවුල.
    එහෙම වෙනවට වඩා ඔහොම තියෙන එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. නවත්වන්න පාලනය කරන්න බෑ.... ඔය දේ වෙනවා............

      Delete