See Also

Sunday 17 December 2017

නකල්ස් කඳුමුදුනේ පහස සොයා ගොස් සීතල ජලතලයේ කිමිදුන අපි...... (02 කොටස)

කැලේ මැදින් - පාගමනින්  අට්ටෙල වෙට්ටුවේ කඳවුරු බිමට.....


පි උදේ අට වෙද්දී තංගප්පුවට එන්න බලාගෙන හිටියත්, අතරමග ප්‍රමාදවීම් නිසා අපි තංගප්පුවට එනකොට උදේ 10ට කිට්ටු වුනා.

කළින් පළවුණු ලිපිය කියෙව්වේ නැතිනම්  මෙතැනින් බලන්න. 

උදේ ඉඳන් අපි එනකම් බුදුමැදුර ගාවට වෙලා මග බලාගෙන හිටපු කුමාර පිට්ටනිය පැත්තට ගිහින්.
දෙසැම්බර් නිවාඩු කාලය නිසා කොල්ලෝ කුරුට්ටෝ පිට්ටනිය බදු අරගෙන.අපි තංගප්පුවට ආබව ආරංචි වූ කුමාර විනාඩි කිහිපයකින් එතනට ආවා. ඒ තනියම නෙවෙයි.කමල් කියන ඔහුගේ මිතුරත් එක්ක.
" කැලේ කපාගෙන යන්න ඕනේ නිසා ඔන්න මං කැත්තකුත් අරන් ආවා"
" එහෙනම් අපි යමු "


විසිගණනක් වූ අපේ පිරිවර කණ්ඩායම් දෙකකට බෙදුනා.හැම කණ්ඩායමක් අතරම අඩුම තරමේ මීටර් 50ක වත් පරතරයක් ඇතිව ගමන් ආරම්භ කළා.
එහෙම කළේ කැලේ කොලේ ගැවසෙන පුංචි පුංචි සතුන් කලබල නොකර අපේ පාගමන යන්න ඕනෙ නිසා.උදේ කිචි බිචි ගාමින් ඉඳ දහවල් විවේකය කැලෑ කුට්ටි වල ගිමන් හරින වළිකුකුළන්, මොණරුන්, කෑඳැත්තන් පියවි ඇසිනුත් කැමරා ඇසිනුත් බලන්න ඕනි නිසාවෙන් තමයි අපි එහෙම කරේ. 



ඒවගේම වන සතුන් කලබල නොවීම පිණිස පාගමනින් වනයේ අසිරිය විඳින්න යන අය අනිවාර්‍යෙන් පිළිපැදිය යුතු නීතියක් විදිහටත් ඒක හඳුන්වන්න පුලුවන්.


මුළින්ම ගියේ ශාලිනීගේ කණ්ඩායම. ඊළඟට  සංඛ ප්‍රමුඛ කණ්ඩායම. අවසානයට චමීරගේ කණ්ඩායමත් ගමන ආරම්භ කළා.කුමාර, කමල් සියලු කණ්ඩායම් වලට ඉදිරියෙනුත්, මම සහ උදේශ් සියල්ලටම පසු පසිනුත් ගමනට එකතු වුනා.


අර්ෆත් ශනාස් කැමරාවෙ වගකීම භාරගත්තා.


මුලින් මුලින් නම් අපට හමුවුනේ මුඩු බිම් තීරුවක්.ඒත් ටිකෙන් ටික කැලේ දැඩි වෙන්න පටන් ගත්තා.කරත්ත පාර දෙපසම වසාගෙන පැතිරෙන බටගස්, කඳුකර වනාන්තර ශාක, නකල්ස් කලාපයේ සුලභ එනසාල් පඳුරු වලින් චණ්ඩ හිරු රැස් තීරු පෙරා දමා තිබුනා.පොළවේ දිය සීරාව නිසා අපේ පිරිසට සිදුවුනේ පරිස්සමින් අඩිය තියමින් ඉස්සරහට යන්න.පුංචි පුංචි සර්පයන්, ගෙම්බන් සහ කූඩැල්ලන් නිරන්තරව පාරේ ඉඩකඩ අහුරාගෙන සිටියා.






"ඉස්සර කාලෙ මේ පාරෙ තමයි නකල්ස් වල වැවුන එනසාල් අස්වැන්න නුවරට අරන් ගියේ. සිද්දික් මුදලාලිට විතරක් අක්කර 300ක එනසාල් වත්තක් තිබුනා."
කුමාර තමන්ගේ ගමේ අතීත විභූතියට හේතුවුන එනසාල් සංස්කෘතිය ගැන අපිට විස්තර කිවුවා. දැන් නකල්ස් වල එනසාල් වැවීම තහනම්. ඒකට හේතුවුනේ පරිසර විනාශය වැලැක්වීමට එවකට පැවති රජයන් ගත් තීන්දුවක්.ඝන කැලේ පටන්ගන්න කොටම කරත්ත පාරේ පසෙක පුංචි සංහිඳක් දක්නට ලැබුනා. බුදු පිළිමයක්, දේව රූප කිහිපයක් දක්නට ලැබුන ඒ අසලදී අපට පාගමනින් නකල්ස් සිට එන විදේශික සංචාරකයෙකුත් හමුවුනා. සැතපුමක දෙකක පාගමනට මොහොතක් නැවතීමේ තිත තැබූ අපි එතනින් ගලාගිය පුංචි දොළපාර අසල ගල් තලාව අපේ විවේකය සඳහා තෝරා ගත්තා.

                     

බට ඇටිකුකුලන්, දඬුලේනුන්, වළිකුකුළෝ, ඉත්තෑවන්, මීමින්නන් වාගේ පුංචි සත්තු අපේ ඇස් වලට වහන් වෙන්න උත්සාහ දරමින් එහෙට මෙහෙට මාරුවුනා.නම නොදන්නා අලංකාර සමනලයින් රංචු පිටින් නකල්ස් කඳුකරය පීරාගෙන පියාඹා ගියා.එම සමනල් සංචාරයේ ජායාරූප ගන්න අපට හැකියාව ලැබුනා.
තංගප්පුව ඉඳන් අට්ටලවෙට්ටුවට දුර කිලෝමීටර් 6ක්. කන්දෙන් කන්දට මාරු වෙවී අපි තෙත බරිත කරත්ත පාර දිගේ ඉදිරියටම ගමන් කළා.වරින් වර විවේක ගනිමින්, අවට පරිසරය ගැන විමර්ශන කරමින් පෙර සඳහන් කල විදේශිකයා හැර කිසිදු මිනිස් ප්‍රාණියෙක් අපට හමුවූයේ නැත.




ටිකෙන් ටික ඉදිරියට යද්දී නකල්ස් සීතල අපේ පිරිසට දැනෙන්න පටන් අරන් තිබුනා.පුංචි හිරිකඩක් දෙකක්.මීදුම් වලාවක් අපිව වෙලාගෙන කඳු අතරින් ඇදීගියා.
පැය දෙකහමාරක විතර ගමනකින් පසුව අපි අට්ටල වෙට්ටුවට ලඟාවුනා. ඒ වෙද්දි නම් තද හිරු එළියක් පතිත වෙලා තිබුනා. දාහය විඩාව අඩු වුනත්, පැය දෙකහමාරක පාගමන නිසා ඇඟට දැනුනු තෙහෙට්ටුව නිවාගන්න හිතපු අපේ කණ්ඩායම අට්ටලවෙට්ටුවේ පුංචි දිය ඇල්ලකින් දිය නාගන්න තීරණය කළා.


හුන්නස්ගිරිය දිසා අයියාගෙ කඩෙන් රසට උයපු කෑම වේලක් ඒ වෙනකොට අපේ කඳවුරු බිම වෙත ලැබිලා තිබුනු නිසා විගසින් කඳවුරු භූමියට ගිය අපි අපේ දහවල් කෑම වේලට වගකියන්න පටන් ගත්තා.
" අපි ඊළඟට මොකද කරන්නේ " 
ශාලිනී ඇහුවා...
"දැන් වෙලාව හවස තුන හමාරයි. හවස හය වෙද්දි අපි night hike එකට set වෙමු. මම පැවසුවා...."


Night hike විස්තරත් සමග ලබන සතියේ හමුවෙමු...

 මේ සටහන 2017 ජනවාරි 12 දිනමිණ Y අතිරේකයේ පළවිය. 

ඔබටත් තනිව හෝ කණ්ඩායමක් සමග ලංකාවේ ඕනෑම අස්සක මුල්ලක වෙනස් ආරක සංචාරයක් සංවිධානය කරගන්නට අවශ්‍ය නම් හෝ Y by Road කණ්ඩායම සමග අපූරු සංචාර වල යෙදෙන්නට අවශ්‍ය නම් අපිට කතා කරන්න... Eternal Traveller අපගේ සංචාර ගැන ඔබේ අදහසත් අපිට වැදගත්.... කතා කරන්න අපිට...
ප්‍රදීප් 076 66 42 607 / 0703 17 44 17
දුලිප් 0777 043 804 / 0703 207 207

ඡායාරූප ශා ෆොටෝ වෙනුවෙන් අරෆත් ශනාස් සහ ශාලික මධුශංක