See Also

Tuesday 20 February 2018

මොරගහකන්ද - ජන රාශිය දකින්නට ගියෙමු.

ලාංකිකයින්ගේ නවතම සංචාරක ගමනාන්තය මොරගහකන්දයි….

දඹුල්ලේ සිට හැල්මේ පැමිණි පුද්ගලික බසය නාවුල නඟරය මැද අපව හෙළා වහ වහා නුවරට පළා ගියේ පිටුපසින් එන ලංගමයට බියෙන් විය යුතුය. අව්වේ රැස්ද කඳුකර සීතලද එකට මුසුවූ සුන්දර පරිසරයක පිහිටි බස් රථ නැවතුමට ගොඩවූ අපි මොරගහකන්දට පාර ඇසූවෙමු.


“බස් එකක් එන්න තව පැයක් වත් යාවි…. ඒත් බස් එකක ගියොත් ආයෙ එන්න නම් බස් නෑ….”


හඳපානාගලින්, දොළුකන්දටත්, දොළුකන්දෙන් හුම්මානයටත්  ආදි වශයෙන් මාරුවෙමින් අවසානයේ මීමුරේට හැරුණු ලාංකීය සංචාරකයින්ගේ රැල්ල දැන් දැන් ගලන්නේ මැතදී විවෘත වුණු මොරගහකන්ද වේල්ල දකින්නටය….


මෑතදි පිරුණු මොරගහකන්ද ජල කඳ විසින් කඹරව ඇතුළු පැරණි ගොවි ගම්මාන ගිලගත් බව නාවුල බස් නැවතුම තවමත් දන්නේ නැත. ඒ නිසාම කඹරව දක්වා බස් ධාවනය වූ ගමනාන්තය සහිත පුවරුව තවමත් නාවුල බස් පොලේ යහතින් වැජඹෙමින් තිබේ. එසේම මොරගහකන්දට ජනගඟක් ගලනා බව ප්‍රාදේශිය ප්‍රවාහන බළධාරින් දන්නේද නැත. ඒ නිසා නාවුල සිට මොරගහකන්දට බස් රථයක් නැත.



එබැවින් අපටද මොරගහකන්දේ නැගෙන සාධු ජන රාවය බලන්නට තුන්සක රියක සහය ලබාගන්නට සිදුවිය. මොණර කොළ එක හමාරක ආරම්ක ලංසුව මොණර කොළයකට හෙට්ටු කොට අපිත් මොරගහකන්දට ගියෙමු. නාවුල ඔරලෝසු කණුව හන්දියේ අජිත් අපේ ගමන් සඟයා විය…


වංගු ගැසුණු අළුත් කාපට් පාරේ කඳු නඟිමින් බසිමින් වංගු ගනිමින් අජිත් උපරිම වේගයෙන් අපව රැගෙන මොරගහකන්දට ඇදෙයි…


“පරණ පාරේ කෝන්ගහවෙල මිනිස්සු දැන් මේ පාර අයිනේ පදිංචි වෙනවා… ඔය හැදෙන ගෙවල් එයාළගේ… හවස පහෙන් පස්සේ මේ පාරේ යන්න බෑ…. හැතැප්මෙන් හැතැප්මට අලි බහිනවා…. යන ගමනක් ඊට කළින් තමා...“


රජයේ මුදල් අවභාවිතය ගැන හැමදාම චෝදනා ලබන්නේ දේශපාලකයින්ය…. නැතහොත් නිලධාරින්ය… එහෙත් සාමාන්‍ය ජනයා රජයේ මුදල් අවභාවිතා කිරිම ගැන අපූරු කතාවක් අජිත් අපට හෙළි කළේය… “මොරගහකන්දේ යටවෙන පවුල් වලට වන්දි දෙනකොට පවුලකට ලැබෙන්නේ එක ඉඩමයි, අදාළ වන්දි මුදළයි විතරයි. හැබැයි මව්පියන් යටතේ විවාහක දරුවෝ හිටිය නම් එයාලටත් අනු පවුල් විදියට වෙනම ඉඩම්, වන්දි ලැබුණා… ඒ දේවල් ගන්න වුවමනාවට මිනිස්සු මොකද කළේ වැඩේ ආරංචි වෙනකොටම දරුවන්ව කසාද බැන්දුවා…. බැඳගන්න බැරි වෙචච සමහරු හොර විවාහ සහතික හදල ඉදිරිපත් කරලා වන්දි ගත්තා… පස්සේ එහෙම කරපු දහතුන්දෙනෙක් අහුවෙලා නඩු දැම්මා…..තාම නඩු යනවා…”


නාවුල සිට මොරගහකන්දට කිලෝමීටර් විසිහතරක දුරක් තිබේ…. සති අන්තයක් නිසා අපේ ත්‍රිරෝද රියට ඉදිරියෙන් හමුවන සැම වාහන පහකින් දෙක තුනක්ම මොරගහකන්දට ගොස් එන ඒවාය… අප පසුකර ඇදෙන රථ ගැන ගණිතයද එසේමය... දඹුළු පන්සල් වඳින්නට ආ උපාසක පිරිස් රැගත් ඉදිරිපස පොල්මල් ගැසූ “වන්දනා බස්”ද දඹුළුත් ගොස් මොරගහකන්දත් බලා ආපසු යනු පෙණිනි.  අතරමඟ අළුතෙන් පිබිදෙන වෙළඳ පරපුරේ සේරිවාණිජ ලාගෙන් තැම්බූ බඩඉරිගු, රටකජු කමින්, හිම කිරම උරමින් විවෘත රථවල නැඟී පාරිසරික සුන්දරත්වය විඳිමින් ජෝති ගේ මිල්ටන්ලාගේ ගීත ගයමින් ඔවුන් මේ යන්නේ පැරකම් සමුදුර මෙන් සය ගුණයක් විශාල  වපසරියක විහිදෙන නැවුම් ජලාශය දකින්නටය…


මද දුරක් යන විට පාරේ දකුණු පසින් මොරගහකන්ද නිල් දිය කඳ මඟ යන එන අපත් සමඟ හැංගිමුත්තන් කෙළිනයුරු පෙනේ… පාර වම්පස මින්නේරිය ගිරිතලේ ස්වභාවික රක්ෂිතයයි.අපට නම් යන එන මඟ අලි නම් හමුවුණේ නැත. නමුත් පාර දෙපසම ගැසූ අලිවැට නම් යහතින් තිබිණි. ජලාශයට යටවෙන්නට නියමිත බිම් වලින් දෙවසරකට පමණ පෙර සිට දැව සංස්ථාව විසින් කපා ඉවත් කළ මහ ගස් කඳන්  පාරේ අතරමඟ තැන් තැන් වල තවමත් අව්වට වේලෙමින් වස්සට තෙමෙමින් තිබෙණු පෙනිණි.


අඩ හෝරාවකට ආසන්න ගමනකින් පසු අපි මොරගහකන්ද වේල්ල ආසන්නයට පැමිණියෙමු. පොහෝ දිනෙක දඹුල්ල විහාරය පරදන සෙනගක් එවේලේ එහි සිටියහ. විවිධ වාහන හැටකට ආසන්න ප්‍රමාණයක් නවතා තිබූ රථගාලේ අපේ තුන්සක රියට ඉඩක් සපයා ගැනීමද අසීරු හැඩකි. වාහන ගාලට ආසන්න ඉඩකඩ වෙළඳුන්ගේ රජදහනකි. අයිස්ක්‍රීම් රථ දෙක තුනකි. ඒවා අසළ පොදිකන ජනීජනයාය. කඩල, මුරුක්කු, බුලත්විට, සෙල්ලම්බඩු සඳහා හොඳ ඉල්ලුමක් තිබේ. තවත් එහි ගොස් වෙළාඳාම් කරනු රිසි පිරිස් සඳහාද ඉඩකඩ තිබේ. තවමත් ප්‍රාදේශිය පරිපාලන බළධාරින් හෝ මහවැලි බළධාරීන් සංචාරක පිරිස් නියාමනයට මැදිව නැත.


සෙල්ෆි කූරු ගැසූ නවීනතම ජංගම දුරකථන ගෙන රිසි සේ ඡායාරූප ගනිමින් යන තුරුණු කණ්ඩායම් ද, සුදු ඇඳුමෙන් සැරසී වන්දනාවේ යන අතර පැමිණි වැඩිහිටියන්ද, සසර ගිනි නිවන ධර්ම ප්‍රචාරක යුතුකමේ වඩිනා අතරමඟ සා පවස නිවන මහ ජලකඳ දකින්නට පැමිණි සඟගණද, සති අග වෙනසක් වෙනුවෙන් දරු මුණුපුරන් සමඟ පැමිණි දෙන්නා දෙමහල්ලන් අතරින් අපිද පාගමනින්  මොරගහකන්ද වේල්ලට පිවිසෙන මඟට පිළිපන්නෙමු.




මෙම ව්‍යාපෘතියේ අරමුණු කිහිපයකි. වැදගත්ම අරමුණ අනුරාධපුරය පොලොන්නරුව ත්‍රිකුණාමලය හා මාතලේ, කුරුණෑගල, පුත්තලම දිස්ත්‍රික්කවල කුඹුරු හා ගොඩ ඉඩම් අක්කර ලක්ෂ පහක් පමණ යල මහ අස්වැද්දීමට අවශ්‍ය ජලය ලබාදීමයි. ඒ සමඟම වකුගඩු හා අනෙකුත් රෝගවලින් ජනතාව සුරකීම පිණිස ඉහත දිස්ත්‍රික්කවලට පානීය ජලය ලබාදීමත් පොලොන්නරුව පහළ නිම්නය ගංවතුර පාලනයත් මෙම ජලාශයෙන් අරමුුණු කැර ඇත. මීට අමතරව මෙගා වොට් විසිපහක ජල විදුලියක් ‍රටට ලබාදීමත් මෙමඟින් සිදුකෙරේ. ජලාශය ඉහත්තාවේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නංවාලීමද අතුරු අරමුණකි. වේල්ල ඉදිකර ඇති නමුදු එම ව්‍යාපෘතියේ අරමුණු ඉටුකිරිම තවමත් ඇරඹී නැත. එයට අවශ්‍ය අතුරු ඇළ මාර්ග සහ අනෙකුත් යටිතළ පහසුකම් තවමත් ඉදිවෙමින් පවතී. වේල්ල ඉදි නොකොට මේ ව්‍යාපෘති ඇරඹිය නොහැකි නිසා ව්‍යාපෘති ඇරඹී නැති වුවද වේල්ල හා ජලාශය නොවැදගත්යැයි කිසිවිටෙක පැවසිය නොහැක.




මිටර පන්සියයක පමණ පා ගමනකින් පසු අපි වේල්ල මතට පිවිසියෙමු. දොඹකර රථ තවමත් වේල්ල මතය. සොරොව් දොර අරින වහන කොළ පැහැති දොඹකරය වේල්ල මැදය. නමුත් එය ස්ථානගත කිරීමට අපේක්ෂා කරන්නේ වේල්ල පසෙක ඇති වෙන්වූ ඉඩකඩකය. එහෙත් ඒ අන්තයේ සිදුකරන ඉදිකිරීමක් සහ ජලාශයේ රොඩු ඉවත් කරන යන්ත්‍රයේ ස්ථානගත කිරීම් වල ගැටළුවක් නිසා එම දොඹකරය වේල්ල මැදින් ඉවත් කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇත. ඉන්පසුව මෙම වේල්ල මහා මාර්ගයක් ලෙස භාවිතා කිරිමේ හැකියාවද ලැබෙනු ඇත.


මොරගහකන්ද ජලාශය යනු එක් වේල්ලකින් යුතු ජලාශයක් නොවේ. ප්‍රධාන වේල්ලට දෙපසින් අතුරු වේලි දෙකක්ද සහිත වේලි තුනකින් ජලාශයේ ජලකඳ රඳවාගෙන තිබේ. ඒ අතුරු වේලි වලට වෙනම ප්‍රවේශ මාර්ග ඇත. නමුත් පැමිණෙන සංචාරකයින්ට සම්පූර්ණ වේල්ල දිගට ඇවිද යන්නට හැකියාව නැත. ඒ මඟ අහුරා විශේෂ කාර්යය බළකාය රැකවල්ලා සිටී. වේල්ල උඩට ජලාශ  ඉහත්තාවත්, පහළ නිම්නයත් පැහැදිලිව  පෙනේ.. නමුත් ජලාශයේ සැබෑ සුන්දරත්වය දකින්නට නම් ඒ වෙනුවෙන්ම සැකසූ විශේෂ නැරඹුම් ස්ථානයට යා යුතුය. එය වෙනම ගමනකි.


මහවැලියේ වෙනත් වේලි සමඟ සැසඳීමේදී මොරගහකන්ද සුවිශේෂය. ඒ වික්ටෝරියා, රන්දෙණිගල වැනි වේලි වලින් පහළට මහවැළි ගඟ මද දුරක් හෝ මළ ගඟක් වද්දී මොරගහකන්ද නිසා අඹන් ගඟ මළ ගඟක් කොට නැත. අඹන් ගඟේ සාමාන්‍ය ජල ධාරිතාවය ආරක්ෂා කරමින් කුඩා මඩ සොරොව්වක් හරහා අඹන් ගඟට ජලය සපයමින් තිබීම අගය කළ යුතුය. වේල්ලේදී හමුවූ තාක්ෂණ නිළධාරියෙකු පැවසූ පරිදි ජලාශයේ පූර්ණ ජලධාරිතාවය  විවෘත කිරීමේදී පැවැති නමුත් දැන් එය අඩි පහකින් පමණ පහළ බැස තිබේ.


“ එදා අර කන්දේ අලි හිටියා…. මේ කන්දටත් එනවලු... “


පැමිණි නඩයක ආගන්තුකයෙකුට ප්‍රවිනයෙකු විසින් අලි ගැන කියයි. අලි බැලිල්ලේත් බලි බැලිල්ලේත් ඇති වීමක් නැතත් දැන් එයට අවස්ථාව නොවේ. මන්ද රියැදුරු අජිත් විසින් අපට මොරගහකන්දේ ගත කරන්නට දුන් කාළය ඉක්ම යමින් තිබන නිසාවෙනි.  


දැන් ජලාශය ඉදිකිරීමේ සහ පහසුකම් සැපයීමේ රජයේ කාර්ය භාරය නිමාවෙමින් තිබේ… ඉන්පසු ඇරඹෙන්නේ කෙත්වතු, ඉඩ කඩම් අස්වද්දන ජනතාවගේ යුතුකම ඇරඹෙන සමයයි. ලොව බලවතුන්ගේ ණය ආධාරයෙන් ඉදිකළ මේ ජලාශයේ ඵල ලබමින් ජාතික ආදායම වැඩි කිරීමට දායක වී ණය කන්දෙන් රට මුදාලීම ජනතාවගේ වගකීමයි… ජලාශය බලන්නට පැමිණ හිමකිරම කා සෙල්ෆි ගැසුවාට ඒ අරමුණ ඉටුවන්නේ නැත. එහෙමයි කියා ජලාශය බලන්නට ඒමේ වරදක් කියන්නට හැකියවක්ද නැත. වැදගත් වන්නේ ආයෝජනයේ ප්‍රතිඵල වෙනුවෙන් පෙනී සිටින්නට පාලකයින්ද, පාලිතයින්ද සිය ආකල්ප හසුරුවා ගැනීමයි.
ඔබටත් තනිව හෝ කණ්ඩායමක් සමග ලංකාවේ ඕනෑම අස්සක මුල්ලක වෙනස් ආරක සංචාරයක් සංවිධානය කරගන්නට අවශ්‍ය නම් හෝ පේ කණ්ඩායම සමග අපූරු සංචාර වල යෙදෙන්නට අවශ්‍ය නම් අපිට කතා කරන්න... Eternal Traveller අපගේ සංචාර ගැන ඔබේ අදහසත් අපිට වැදගත්.... කතා කරන්න අපිට...
ප්‍රදීප් 076 66 42 607 / 0703 17 44 17
දුලිප් 0777 043 804 / 0703 207 207

ඡායාරූප MegaaHike වෙනුවෙන් චතුර හේමාල්

මෙම ලිපිය 2018 පෙබරවාරි 14දා 'රැස' පුවත්පතේ පළවිය. 

1 comment: