See Also

Saturday, 15 July 2017

නකල්ස් කඳුමුදුනේ පහස සොයා ගොස් සීතල ජලතලයේ කිමිදුන අපි...... (01 කොටස)

නකල්ස් හෙවත් දුම්බර ගැන

හුන්නස්ගිරියේ සිට ලග්ගල දක්වා ගිණිකොණ දිග සිට වයඹ දෙසට සැතැපුම් 18ක දුරක් විහිදෙන කඳු පන්තිය බ්‍රිතාන්‍ය පාලන සමයේ “නක්ල්ස්” යනුවෙන් හඳුන්වන්නට යෙදිණි. ඒ එහි වූ කඳු ශිඛර මිට මෙළවූ අතක ඇඟිළි මෙන් දර්ශණය වු නිසාය... නමුත් ඈත අතීතයේ සිටම ලාංකිකයා මෙම කඳු සහිත ප්‍රදේශය හැඳින්වූයේ ‘දුම්බර’ කඳු යනුවෙනි. ඒ එදා මෙදාතුර හැමදාටම මේ කඳු හිස් සුදු මිහිදුමෙන් බරව පවතින බැවිනි.

මෙම කඳුයාය නුවර සහ මාතලේ යන දිස්ත්‍රික්කවල හෙක්ටයාර 21000 ක් පුරා ව්‍යාප්තව පවතී.  මෙම කඳු පන්තිය දුම්බර නිම්නය ලෙස හඳුන්වන ගැඹුරු නිම්නයකින් මධ්‍යම කඳුකරයෙන් වෙන් වී තිබේ.  මුහුදු මට්ටමේ සිට මීටර් 1000 කට වඩා වැඩි උසකින් යුක්ත කඳු මුදුන් 35 කින්, මීටර් 1500 කට වඩා වැඩි උසකින් යුක්ත කඳු මුදුන් 20 කින් සහ මීටර් 2000 කට වඩා වැඩි උසකින් යුක්ත කඳු මුදුන් දෙකකින් නකල්ස් වනාන්තරය සමන්විත වේ. මෙම කඳු පන්තියේ දකිය හැකි සුවිශේෂී කඳු මුදුන් ලෙස ගොම්බානිය, නකල්ස්, කිරිගල්පොත්ත, දුම්බානාගල, කළුපහන, දෝතළුගල සහ ලකේගල  ආදිය දක්විය හැකිය.

අතීතයේ සිටම දුම්බර කඳු අතර හුදකලා ජන ජීවන රටාවන් පැවැති අතර අද වන විට ජෛවගෝල රක්ෂිතයක් සේ නම් කර ඇති නකල්ස් වනාන්තරය තුළ   මීමුරේ - රණමුරේ- කයිකාවල- ගලමුදුන- උඩගල්දෙබොක්ක ආදී හුදකළා මිනිස් වාසයන් පවතී. සුවිශේෂි ජීව සංස්කෘතික සහජීවනයක් පෙන්නුම් කරන ගම්මාන 86 ක් පමණ දුම්බර වන පෙත ආශ්‍රිතව පිහිටා තිබේ. මෙයින් 48% ක් පමණ වු ජනගහනය කෘෂිකර්මාන්තයේ නිරතවසිටිති.
නිම්න ආශ්‍රිතව නිවර්තන පහතරට අර්ධ සදාහරිත වනාන්තර වර්ගය දක්නට ලැබෙන අතර, මෙම වනාන්තර වර්ගය මිල්ල, මොර, වෙලං, බදුල්ල ආදී විශාල ශාක වශේෂවලින් සමන්විත වේ.  ඉහළ කඳුකර වර්ෂා වනාන්තර ලෙස සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන නිවර්තන කඳුකර තෙත් සදාහරිත වනාන්තර ඉහළ බෑවුම්, කඳුවැටි සහ කඳු මුදුන්වල දක්නට ලැබේ.
"වළාකුළු වනාන්තර" ලෙස හඳුන්වන ඉහළ ස්ථානවල පිහිටි වනාන්තර තුළ වර්ණවත් ඕකිඩ්, පරණාංග සහ පාසි වර්ග දක්නට ලැබේ. ගස්වල කඳන් මත සහ තෙතමනයෙන් යුක්ත ගල් මත තුනී පටල ආකාරයෙන් පවත්නා පරණාංග මෙම වනාන්තරවල සුලභ දසුනකි. කඳුවල පහළ බෑවුම් ප්‍රදේශවල, නිවර්තන උප - කඳුකර තෙත් අර්ධ සදාහරිත වනාන්තර දක්නට ලැබේ.  වියළි බෑවුම් ප්‍රදේශවල වියළි උප කඳුකර, තෙත් අර්ධ සදාහරිත වනාන්තර දක්නට ලැබේ.  ගංගා සහ දිය පහර ආශ්‍රිතව සශ්‍රිකව වැඩුණු ගංගාධාර වනාන්තර ව්‍යාප්තව පවතී.

කඳු බෑවුම්වල විශාල භූමි ප්‍රමාණයක් ආවරණය කරමින් ව්‍යාප්තව පවත්නා තෘණබිම්වල තැනින් තැන විසිරුණු හුදකලා ශාකවලින් යුත් සවානා බිම් දැකිය හැකිය.  මුහුදු මට්ටමේ සිට මීටර් 1000 කට අඩු උසකින් යුක්ත කඳු වැටි මත එකිනෙකට ඉතා ආසන්නව වැඩුණු තෘණවලින් සැදුම්ලත් පතන තෘණබිම් හමුවේ.
"පිටවල පතන"  නමින් හඳුන්වන සුවිශේෂී තෘණ භූමිය සෞන්දර්යාත්මක වටිනාකම අතින් ඉතාම ඉහළ අගයක පවතී.  මීටර් 1ක් පමණ උසට වැඩුණු තෘණ ආවරණය හෙක්ටයාර් 10 ක පමණ භූමි ප්‍රමාණයක් වසා පැතිරී පවත්නා අතර, මෙයට යටින් සුළු බෑවුවක් සහිත වූද සෙන්ටිමීටර් 10 – 15 ක ඝනකමින් යුක්ත වූ තුනී පස් තට්ටුවක් සහිත වූද ගල් තලාවකි.
වත්මන් හා පැරණි ජනාවාස වටා ඝනට වැඩුණු කටු පඳුරු සහිත ලඳු කැළෑ, මීටර් 2 ක් පමණ උසට වර්ධනය වී තිබෙනු දැකිය හැකිය.
"කුරුගස්කැලේලෙස හඳුන්වන පිග්මි වනාන්තර, නකල්ස් වනාන්තරයේ දක්නට ලැබෙන අයස්කාන්ත දසුනකි.  මෙම වනාන්තරයේ වසර සිය ගණනක් පැරණි, ඇඹරැණු ශාක දක්නට ලැබෙන අතර, මේවා මීටර් 1 – 2 පමණ උසට විහිදෙන අතු බෙදුණු ශාක වේ.  මෙම ශාකවල කඳන් ලයිකන, පාසි, ඕකිඩ් සහ පර්නාංග වැනි කුඩා ශාකවලින් ආවරණය වී තිබේ. මෙම ශාකවල ස්වරූපය නිරන්තර, දැඩි සුළං තත්වයට දක්වන්නා වූ අනුවර්තනයන්ය.

දුම්බර කඳු පන්තිය පක්ෂී විශේෂ 128 කට, උභයජීවී විශේෂ 20 කට, සමනල් විශේෂ 60 කට, මොලස්කාවන් විශේෂ 17 කට, ක්ෂීරපායින් විශේෂ 31 කට, උරගයින් විශේෂ 53 කට සහ මත්ස්‍යය විශේෂ 15 කට වාසස්ථාන සපයයි.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙන පෘෂ්ඨවංශීන් අතුරින් පිලිප්ගේ ගාරා, දන්කුඩු පෙතියා සහ දුම්බර පෙතියා යන මිරිදිය මත්ස්‍ය විශේෂ 3, දුම්බර ගල්පර මැඩියා සහ අං කටුස්සා ද ආවේණික සත්ව විශේෂ වන අතර හුදෙක් දුම්බර කඳු වැටියටම සීමා වී තිබේ.
වල් ඌරා, වල් හාවා සහ මී මින්නා නකල්ස් වන පෙත තුලදී සුලභව හමුවන ක්ෂීරපායීන් වේ.  ඉතාමත් විමසිලිමත් දෑසකින් වනාන්තරයේ සුන්දරත්වය දකින සංචාරකයින් හට මුවන්, ගෝනුන්, අලින්, මී හරක්, උනහපුළුවන්, හිවලුන්, මුගටි, රිලව්, කොළ වඳුරන්, ලේනුන්, උරුලෑවන්, රන් හෝතඹුවන්, ඌරු මීයන් සහ ඉත්තෑවන් නැරඹීය හැකිය.

දුම්බර වනාන්තර ප්‍රදේශයෙන් වාර්තා වි තිබෙන පක්ෂි විශේෂ 128 අතුරින් විශේෂ 17 ක් ලංකාවට ආවේණික වේ.  නකල්ස් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන විශාලතම පක්ෂියා Ictinaetus malayensis වන අතර, කුඩාම පක්ෂියා Dicaeum erythrorhynchos ය.  කොට්ටෝරුවන්, ගිරා මලිත්තන්, පිළිහුඩුවන්, පීතකන් කොණ්ඩයා, දෙමලිච්චන් ශාරිකාවන්, කැහි බෙල්ලන් මෙම මීදුමින් වැසුණු සුන්දර වනාන්තරයේ සුන්දරත්වය තවදුරටත් තීව්‍ර කරයි.
ගල්පරවල පැළුම් තුළ සහ ගස් බෙන තුළ පක්ෂීන් ආහාරයට ගන්නා මකුළුවන් සිටිනු කලාතුරකින් දැකිය හැකිය. Orsotraeina medus සහ Melanitis leda යන සමනල් විශේෂ වනාන්තර භූමියේ සිටිනු දැකිය හැකිය.  මොවුන් කුණු වී යන පළතුරු, සතුන්ගේ මළ ද්‍රව්‍ය සහ දිරාපත් වන වෘක්ෂලතා කොටස් මත යැපේ. Kallima philarchus සමනළ විශේෂය පොළව මත වැටී තිබෙන වියළි ශාක පත්‍රවලට ඉතාම කිට්ටු සමානතාවයක් පෙන්නුම් කරයි.   තව ද ආවේණික සමනල විශේෂ දෙකක් වන Troides darsius සහ Papilio polymnestor ද නකල්ස් වනාන්තරයෙන් වාර්තා වී තිබේ. මොවුහු ලංකාවේ සිටින විශාලතම සමනල විශේෂ අතරට වැටේ.
මහවැලි ගංගාව පෝෂණය කරන්නා වූ ජල දහරා රැසක් සහිත නකල්ස් වනාන්තර ය අතරින්  නැගෙනහිරින් පිහිටි හීන් ගඟ, මහ ඔය සහ හසලක ඔය ද බස්නාහිරින් පිහිටි හුළු ගඟ සහ ගල්මල් ඔය ද මහවැලි නදිය කරා ගලා බසිති.
නකල්ස් කඳුකරය ගැන තවත් තොරතුරු https://goo.gl/8h7fm0 සබැඳියෙන් කියවිය හැක.

අපේ නකල්ස් ගමන
ල් මාසේ ගෙවිලා උදුවප් මාසේ උදාවුණේ නත්තල් සීතල මුහු කරගත්තු හිරිගඩු පිපෙන හීතල සුළගත් එක්ක. දුම්බර කදුකරය තෙතබරි කරන ඊසාන දිග මෝසමත් ඇරඹෙන්නේ දෙසැම්බර් මාසෙට..... සීතල මඟ හැර යන බොහෝ දෙනා සිටින සමාජයක නත්තල් සීතලත්, ඊසාන දිග වැස්සත් හොයාගෙන නකල්ස් කඳුකරයේ වනගොමු අතරට යන අපූරු චාරිකාවක් Eternal Traveller කණ්ඩායම සැළැසුම් කළේ නොවැම්බර් අගට යෙදුනු සොරබොර චාරිකාව අවසන් වූ සැණින්මයි....
අපේ අරමුණ වුණේ නක්ල්ස් වන මැද ගැසූ කූඩාරම් වල රාත්‍රි දෙකක් ගත කරමින් - දවස පුරා වන ගොමුවේ ඇවිද යන ක්‍රියාකාරම් සහ ජලක්‍රීඩා කිරීමයි... ඒක ටිකක් අභියෝගාත්මක වැඩක්....  මොකද ඇඟ හිල් කරගෙන යන හීතලත් ඒ හීතල පොහොණි කරන මද වැස්සත් පරාජය කරගෙන දවස පුරා ඇවිදින්න - හිම මිදෙන සිතලේ ජල ක්‍රීඩා කරන්න තරම් ධෛර්යයක් - ශක්තියක් තියෙන පිරිස බොහොම අඩුයි.... ඒත් Y by Road සහ අපේ සමාජ ජාල සමූහ හරහා අපි ගැන විශ්වාසය තියපු කොල්ලෝ - කෙල්ලෝ රෑනක් අපිත් එක්ක වැඩසටහනට සහභාගී වීමට කැමැත්ත දුන්නා...
දෙසැම්බර් මාසෙ 24 වෙනි සෙනසුරාදා උදේ පාන්දරම අපේ වැඩසටහනට සහභාගි වෙන්න සූදානම් වුණු විස්සක විතර තරුණ පිරිසක් මහනුවර දුම්රිය පොළ ඉදිරිපිට එකතු වුණා.... එතැන් සිට වෑන් රථ දෙකකින් අපේ පිරිස දිගන, තෙල්දෙණිය හරහා රංගල නඟරයට සේන්දු වුණා.... ඡායාරූප ශිල්පීන්, පරිසරවේදීන්, සංචාරක මගපෙනවන්නන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, පාසැල් ශිෂ්‍යයන් ගෙන් සමන්විත  වුණු අපේ නඩය මෙහෙය වන්නට දුලිප් සහ උදේෂ් මට සහය දුන්නා... ශාලිකගේ පුංචි ප්‍රමාදයක් නිසා අරෆත් ශනාස්  පළමු  දිනයේ ඡායාරූප එක් රැස් කිරීම තනිවම කරට අරන් තිබ්බා... වාහන වල ප්‍රමාදයන් නිසා පුංචි වෙලාවකට තෙල්දෙණිය ආසන්නයේ නතර වුණු අපිට ගම්වැසියෙකුගෙන් අපූරු ඔත්තුවක් ලැබුණා...

“පුතා.... මහවැලි ගඟේ වතුර හිඳිලා නිසා... පරණ බඹරගල පන්සළයි - පාලමයි උඩට මතුවෙලා තියෙනවා... ගිහින් බලන්න....”
අපේ කට්ටිය මහවැලි ඉවුරට දුවගෙන ගියේ එක පිම්මට... එහෙම ගියාට ඉවුරටම යන්න නම් දුෂ්කර බැවුමක පහළට බැහැල යන්න වෙනවා... කැළේ කොළේ කරක් ගහල පුරුදු බොහෝ දෙනා පරෙස්සමෙන් බැහල ගිහින් ගං ඉවුරට ළගා වුනේ කාළෙකින් දකින්න නොලැබෙන ඒ අපූරු දසුන සියැසින්ම බලාගන්න හිතාගෙන....
පැය භාගයක පමණ නටඹුන් විපරමකින් පස්සේ අප ආයෙමත් ගමන ආරම්භ කරා... සුන්දර තේවතු, ලා නිල් පැහැති කුඹුරු යායවල්, අව්‍යාජ සිනහව ආභරණයක් කරගත්තු ගෑණු මිනිස්සු පංචි එවුන් පහුකරගෙන වැළමිටි වංගු පාර දිගේ අපි උඩිස්පත්තුව පහු කරගෙන පුංචි කඩමණ්ඩියකට ආවා....  එතැනට කියන්නේ රංගල හන්දිය කියලා.... 





උදේම ගමන පටන් ගත්තු අපිට මේ වෙන කොට හොඳටම බඩගිනියි... ඒ නිසා මේ කඩපොළෙන් අපේ උදේ ආහාරය ලබාගන්න අපි සූදානම් වුණා.... ඒත් ඒ කඩමණ්ඩියේ තිබුණු ලොකුම හෝටලයටත් අපේ සම්පූර්ණ පිරිසට බඩ කට පුරවගන්න තරම් කෑමක්  දෙන්න හැකියාවක් තිබ්බේ නෑ... ඒ නිසා අවසානයේ අපේ පිරිස කණ්ඩායම් තුනකට බෙදිලා හෝටල් තුනකින් උදේ සහගින්දර නිවාගත්තා... කෝච්චි සම්බෝලයක්, පරිප්පු හොද්දක් සහ මිරිසට සැකැසූ හාල්මැස්සන් හොද්දක් එක්ක පාන් සහ පරාටා කාපු ඒ මොහොත තවත් කාලයක් යනකම් අමතක නොවන මතකයක් වෙන්නේ මට විතරක් නොවන බව නම් ස්තීරයි....
උදේ කෑමෙන් පස්සේ කඩමණ්ඩියේ තවත් අඩ හෝරාවක් පමණ ගත කළ අපි වන මැද ගත කරන දිරි දින දෙක සඳහා අවශ්‍ය අතිරේක කෑම බීම රැස් කර ගත්තා... ඉන් අනතුරුව තාර ගැලවි ගල් මතුවුණු පුංචි කරත්ත පාර දිගේ තංගප්පුව බලා යන්න පිටත් වුණා... ගමන ටිකක් අමාරුයි... වාහන වල රියදුරන්ගේ මුහුණ ටිකක් විතර ඇඹුල් වෙලා... ඒත් නොබිණූ මුවින් ඉබි ගමනින් ඉලක්කය කරා යන්නට වුන් සූදානම්... දෙපස තේවතු වල දෙමළ කම්කරුවන් අපිට අත වැනුවා.... පාර දෙපස ලැයිම් කාමර  පේලි වල තරුණ ගැටව් ආගන්තුක අපිව විපරම් කරන්න මිදුලට බහිද්දි, මිදුලේ හිටපු ගැටිස්සියෝ කාමරේට රිංගගෙන දොර රෙද්දට මුවා වෙලා අපි දිහා බලාගෙන හිටියා...




සැතැපුම් දෙකක විතර අමාරු ගමනකට පස්සේ තංගප්පුව ගමේ කෙළවරට අපි ආවා... එතැනින් එහාට කැළේ... “නකල්ස් රක්ෂිත වනාන්තරය” කියල පුවරුවක් පාර අයිනේ ගහල තිබ්බා.... අපි වාහන වලින් බැස්සා.... ළඟම තිබුණු වල් දෙල් ගහක හැංගිලා හිටපු කෑඳැත්තෙක් ඉගිලිලා ගියා....
අපේ වැඩසටහනේ පළමු ක්‍රියාකාරකම විදියට සටහන් වෙලා තිබ්බේ  තංගප්පුවේ සිට අට්ටලමෙට්ටුව දක්වා වන මැදින් පා ගමන් යාම... මේ සාම්ප්‍රදායික වන මං පෙත අතීතයෙ සිටම භාවිතා වූ එකක්... ඒ නිසාම නකල්ස් ජෛවගෝල රක්ෂිතය තුළ තවමත් මිනිස් ගමනාගමනය සඳහා වෙන්කළ වන මං තීරුවක් විදියට ගැසට් කරලම වෙන්කර දිලා තිබෙනවා... හැබැයි කැලේ සතාට ඒවා අදාළ නෑ... දිවියා නිරන්තරවම ගැවසෙන ඉසව්වක් බවට මේ වන මං පෙත ප්‍රසිද්ධයි...ඒ නිසාම කැලේ කොලේ ගැන දන්න මඟ පෙන්න්නෙකු අපිට අවශ්‍යයි...

‘කුමාර්’ .....
අපි ඔහු එනතුරු තංගප්පුවේ මොහාතක් විතර පමා වුණා....  
එතැනින් පස්සේ මොකද වුණේ.... ඊළඟ ලිපියෙන් කියවමු .... මේ සටහන 2017 ජනවාරි 05 දින දිනමිණ Y අතිරේකයේ පළවිය. 

ඔබටත් තනිව හෝ කණ්ඩායමක් සමග ලංකාවේ ඕනෑම අස්සක මුල්ලක වෙනස් ආරක සංචාරයක් සංවිධානය කරගන්නට අවශ්‍ය නම් හෝ Y by Road කණ්ඩායම සමග අපූරු සංචාර වල යෙදෙන්නට අවශ්‍ය නම් අපිට කතා කරන්න... Eternal Traveller  අපේ සංචාර ගැන ඔබේ අදහසත් අපිට වැදගත්.... කතා කරන්න අපිට...
ප්‍රදීප් 076 66 42 607 / 0703 17 44 17
දුලිප් 0777 043 804 / 0703 207 207

ඡායාරූප ශා ෆොටෝ වෙනුවෙන් අරෆත් ශනාස් සහ ශාලික මධුශංක 

Thursday, 6 July 2017

සියමෙන් උපසම්පදා ගෙනාදා සිටවූ "ත්‍රිකුණාමලයේ බෝගස් සතර" ගැන නඟරවාසී බෞද්ධයින්වත් නොදන්නා කතාව

ත්‍රිකුණාමලය නගරයේ මහජන ක්‍රීඩාංගණය ඉදිරිපිට පැරණි ලන්දේසි සූසාන භූමියට නූදුරුව, නෙල්සන් සිනමා හලට ඉදිරියෙන්,  සියවස් දෙකහමාරක් තිස්සේ ලවණ මූසූ  වියළි මුහුදු  සූළඟින් නිරන්තර පහස ලබමින් දසත අතු පතර විහිදා සරු ලෙස වැඩූණ බෝරුක් හතරක් දක්නට ලැබේ. ලක්දිව බෞද්ධ ඉතිහාසය සමඟ බැඳුණු සුවිශේෂී සිද්ධියක් මුල්කොටගෙන රෝපණය කරන ලද මෙම බෝ රුක් හතරට මෑත කාලයෙහි කවරෙකු විසින් වත් තෙල් මල් පහන් පිදීම, පූජා භූමියක් බවට පත්වීම තබා හැරී බැලීමකින්වත් සිදු නොකරන බවක් පෙනී යයි. 
බෝ ගස් සතර (වන්නියාර් වීදියේ සිට)

2017 ජූනි මස 03-04 දෙදින ත්‍රිකුණාමලය ආශ්‍රිතව "Exploring Trinco Behinds"  ගවේශන චාරිකාවට ගිය MegaHike කණ්ඩායමේ අපි අපේ නඟර සංචාරයේදී මේ ස්ථානය සොයා ගියෙමු. ප්‍රකට නෙල්සන් සිනමාහලට ඉදිරියෙන් යකඩ බට වලින් තැනූ ආරක්ෂිත වැටකින් වටකර ඇති මේ ස්ථානයේ දණක් උසට වල් වැවී තිබූ අතර මාස ගණනාවකින් මේ බිමට කිසිවකු පා තබා නැති බවක් පෙනී ගියේය. 

මේ බෝගස් හතරෙහි වැදගත්කම ගැන ගෝකණ්න රාජමහා විහාරාධිපති කහටරුප්පේ ධම්මාලංකාර හිමියන්ගෙන් විමසූ මුත් උන්වහන්සේ මේ ගැන පැහැදිලි විස්තරයක් කීමට අපොහොසත් වූහ. සිංහල බෞද්ධ නඟර වැසියන්ද මේ ගැන පැහැදිලි විස්තරයක් ඉදිරිපත් නොකළ තැන ඒ බෝගස් හතරෙහි තොරතුරු සොයන්නට පැරණි පුවත්පත් සටහන් සොයා යන්නට අපට සිදුවිය...  පහත පළවන්නේ එසේ විවිධ ලේඛණ වලින් උකහා ගත් තොරතුරු ඇසුරෙන් කළ විස්තර පෙළගැස්මකි. ඒ අතර කන්තලේ  හිටපු උප්පැන්න විවාහ හා මරණ ලේකම්  පී. එල්. සිරිසේන මහතාගේ ලිපියකින් ලබාගත තොරතුරු ප්‍රමුඛව අන්තර්ගතය. 

ගෝකණ්න විහාරය

කන්ද උඩරට රාජ්‍ය සමයෙහි සම්බූද්ධ ශාසනයෙහි පූනර්ජීවනය සඳහා ද මේ රටෙහි ථෙරවාදි උපසම්පදාව සහිත භික්ෂූ පරපූරක් පිහිටූ වීම සඳහා ද සියම් රටින් පැමිණි මහෝපාධ්‍ය "උපාලි" හිමියන් ඇතුළු සංඝයා වහන්සේලා කීර්ති ශ්‍රී රාජසිංහ රජූන්ගේ දෙතිස් ඇමැතියන් විසින් වර්ෂ 1753 ක් වූ මැයි මස 14 වන දින රාජකීය ආචාර විදි පවත්වා පිළිගන්නා ලද්දේ මෙම බෝරුක් හතර මැදිකරන ලද වේදිකාවෙහිදීය. 

සියම් මහා නිකායේ ඉතිහාසයේ ජීවමාන සංකේතයක් වූ මෙම බෝ රුක් හතර ඓතිහාසික වටිනාකමකින් දෙවැනි වන්නේ, මේ රටෙහි භික්ෂූණී ශාසනය පිහිටූවීමට දඹදිවින් වැඩම කළ සංඝමිත්තා මහ මෙහෙණින් වහන්සේ ගයා හිසින් ගෙනැවිත් අනූරාධපූර මහමෙව්නා උයන්හි රෝපණය කළ ජය  ශ්‍රී  මහා බෝ සමිඳුන්ටත්, එයින් හටගත් දෙතිස් ඵල බෝධීන්ටත් පමණෙකි.

මිහිඳු මාහිමියන් අරිටිඨ කුමරුන් ශ්‍රමණ භූමියට ඇතුළත් කර දෙවා වදාළ ථෙරවාදි උපසම්පදාව සහිත භික්ෂූ පරපූර කන්ද උඩරට රාජ්‍ය සමය වන විට අන්තයටම පිරිහී උපසම්පදාව සහිත එකදු භික්ෂූන් වහන්සේ නමක්වත් සොයාගත නොහැකි වන ලෙසින් විනාශයට පත්ව තිබිණි.

කහටරුප්පේ ධම්මාලංකාර හිමියන් හමුවූ අපේ කණ්ඩායම
එකල කන්ද උඩරට පමණක් නොව දිවයිනෙහි වෙනත් පලාත්වල ද විහාරස්ථානයන්හි අධිපති කම් කරමින් ජීවත් වූයේ උප සම්පදාව නැති සාමණේරයන්ය. ඔවූන් අතර බහූතරයක් සිටියේ සාමණේර වත්පිළිවෙළවත් නොදත්, නැතහොත් එය ද නොතැකූ හින්දු කෝවිල්වල සිටි පූසාරින් මෙන් විෂ්ණූ කතරගම ඊශ්වර ගණේෂ්වර ආදි හින්දු දෙවි දේවතාවන්ට පූජා පවත්වන නැකැත් කියන බලන යක්ෂ භූත කෙම් පහන් කරන, ගණේ බංඩාරලා හෙවත් ගණින්නාන්සේලා යනූවෙන් හඳුන්වන ලද පිරිසකි. හිස මූඩූ කොට හෝ ඇතැම්විට කොණ්ඩය කපා කහවතින් සැරසී සිටි මොවූහූ අප්‍රසිද්ධි නැතහොත් ප්‍රසිද්ධියේම අඹූදරුවන් රකිමින් ගොවිකම් වෙළෙඳකම් කරමින් ජීවත් වූහ. ශාසනය පවත්වාගෙන යෑම යනූවෙන් මොවූන් අදහස් කරන ලද්දේ සිල්වත් කුල දරුවන් මහණ කොට බණදහම් ඉගෙනීමට අවස්ථාව සලසා දීම නොව විහාරස්ථානයේ උරුමය තම පරපූරට අයත්වන ලෙස ඥාතියකුට සිවූරු ඇන්ද වීමය. විහාරස්ථානය සතු දේපල භුක්ති විඳීමට ඇති එකම උරුමය කහ සිවූර ඇඳීම පමණක් ලෙස පිළිගැනිණ . ( අදද සිදුව ඇත්තේ එයම දැයි සිහි නුවණින් යුතුව විමසා බැලීම බෞද්ධයින්ගේ යුතුකමකි. විමසා බැලීමෙන් නොනැවතී ඒ වෙනුවෙන් හඬක් නැඟීමද අපේ සිව්පසයෙන් යැපෙන භික්ෂූන් නිසි මඟ යැවීමටද බෞද්ධයා පෙළ ගැසිය යුතුය. ) 


කන්ද උඩරට ස්වාධීන රාජ්‍යයක් ගොඩනැඟූ පළමූවන විමලධර්මසූරිය රජද, දෙවන විමලධර්මසූරිය රජූද නැවත මේ රටෙහි උපසම්පදාව පිහිටූ වීමට ගත් උත්සාහය ද අසාර්ථක වූ අතර තුම්පනේ වැලිවිට උපන් සරණංකර නම් සාමණේරයන් (ක්‍රි.ව 1687·1778) උඩරට ශාසන කරළියට ප්‍රවිශ්ට වූයේ ලාංකික බූදු සසූන විනාශයට පත් වෙමින් පැවැති සමයෙහිය. 
කෝණේෂ්වරම් කෝවිල
ගණින්නාන්සේලාගේ හා ගණේබණ්ඩාරලාගේ පිළිවෙතින් ඈත් වූ මෙතුමා ස්ව උත්සාහයෙන්ම බණ දහම් ඉගෙන "සිල්වත් සමාගම" ඇතිකර ගන්නා ලදි. එකල විහාරස්ථානවල සිටි භික්ෂූන් යැයි කියාගත් පිරිස පාත්‍රයෙහි වැළඳීම පවා පිළිකුල් කළහ. මේ නිසා පාත්‍රය අතට ගත් වැලිවිට සරණංකර හිමියන් ගෙපිළිවෙලින් පිඬූ සිඟීම ආරම්භ කළහ. එකල එතුමා පිණ්ඩපාතික සරණංකර යනූවෙන් හඳුන්වන ලද්දේ උපහාසයට පසූව එය එතුමාගේ ගෞරව නාමයක් බවට පත්විණ. මෙතුමා කෙරෙහි පැහැදුණ ශ්‍රී විජය රාජසිංහ ක්‍රි.ව 1739-1747 රජූගේ නොමද ආශිර්වාදය ද ශාසනයේ අභිවෘද්ධිය සඳහා නොමඳ අනූග්‍රහයද දෙන ලදි.
ත්‍රීකුණාමල බෞද්ධ ක්‍රියාකාරකම්

දැනට පුද පූජා පවත්වන අවශේෂ බෝධියක්
 වැලිවිට සරණංකර හිමියන්ගේ බලවත් උත්සාහය නිසාම ශ්‍රී විජය රාජසිංහ රජූ එතෙක් තමන් දැනසිටි පෙරදිග රාජ්‍යයන්හි පිරිසිදු උපසම්පදාව සහිත භික්ෂූන් ඇත්දැයි සෙවීමට උරුලෑවත්ත මැදගම යනූවෙන් හඳුන්වන ලද සාමණේරයන් දෙපල ද, හිප්පොල, බෝගමූව පූස්සල මංකඩ උඩූව කන්තලේ හා අන්දරවැව නමින් හඳුන්වන ලද නියෝජිතයන් ද ලන්දේසි නැව්වලින් විදේශ දූත සේවාවෙහි යවන ලදි.

දෙවසකට පසූව යළි මෙරටට පැමිණි විදේශගත දූතයන්ගෙන් දැනගැනීමට ලැබූණේ බොරෝමකොත් නම් රජූන් රජකරන මෙකල තායිලන්තය නම් සියමෙහි පිරිසිදු ථෙරවාදී උපසම්පදාව සහිත සංඝයා වහන්සේලා සිටින බවය. මෙම සඟපරපූර එහි ඇතිවූයේ ක්‍රි.ව. 1425 දි හයවන පරාක්‍රමබාහූ රජූන් දවස මෙරටින් ගිය යති පරපූරකිනි.සියමෙන් උපසම්පදාව සහිත භික්ෂූන් ගෙන්වා ගැනීමට රජූ විසින් බලවත් දූත කණ්ඩායමක් වටිනා ත්‍යාග සමඟ යැවිණ. එහෙත් උනූන් එහි සිටියදීම ශ්‍රී විජය රාජසිංහ නිරිඳු අභාවප්‍රාප්ත වූයෙන්, නව රජූගේ අදහස් දැනගන්නා තෙක් යතිවරයන් එවීම සියම් රජූ විසින් වළකන ලදි.
නඟරයේ කෝවිලක් අසළ වෙළඳාමේ යෙදෙන සිංහල දැරියක්
තම පූර්වගාමියා අභාවප්‍රාප්ත වීමෙන් පසූව රජපත් කීර්ති ශ්‍රී රාජසිංහ රජ සරණංකර හිමියන්ගේ උපදෙස් මත නැවත වරක් උපසම්පදාව සහිත භික්ෂූන් එවන ලෙස බලවත් දූත පිරිසක් සියමට යවන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙසින් මහෝපාධ්‍ය උපාලි හිමි ආභිධම්මික ආරියමූන් හා විනයාචාර්ය මහානාම හිමියන් ද ප්‍රමූඛ කොටගත් මහතෙරවරුන් දහඅට නමක් ද සාමණේරවරුන් හත් දෙනෙක්ද කැපකරුවන් සහිත වෙනත් පිරිස් හැත්තෑ තුන් දෙනෙක් ද සහිත පිරිවරක් ලක්දිවට එවූහ. ලන්දේසි නැවකින් පැමිණි ඔවූන් ගෝකණ්න වරායට සේන්දු වූයේ වර්ෂ 1753 ක් වූ මැයි මස 14 වන දිනය.

උපසම්පදාව සහිත ථෙරවාදී බූදු සසූන නැවත වරක් මේ රටෙහි පිහිටූවීමට අවශ්‍ය ආය්‍යර්යන් වහන්සේලා ත්‍රිකුණාමලය තොටමූණට පැමිණි පූවත ඇසූ කීර්ති ශ්‍රී රාජසිංහ රජ මහත් ප්‍රසාදයට පත්ව, කුඩ කොඩි, සේසත් ගත් මහ පෙරහරකින් එතුමන් පිළිගැනීමට පෙරමූණට යන ලෙස තම මහාමාත්‍යවරයා ප්‍රමූඛ දෙතිසක් ඇමැතිවරුන්ට නියම කරන ලදි.කන්ද උඩරටින් පැමිණි රාජකීය නියෝජිතයන් සියම් රටින් පැමිණි මහතෙරවරුන් පිළිගන්නා ලද්දේ ත්‍රිකුණාමලය නැව් තොට අසල ධජපතාකයෙන්ද මාලා කර්ම යථාකර්මයෙන්ද අලංකාර ලෙස සරසන ලද වේදිකාවකදීය. එදින එම වේදිකාවෙහි බෞද්ධ සංකේතයක් ලෙසින් රෝපණය කරන ලද බෝ අංකුර හතර අද දවස වන විට  ත්‍රීකුණාමල නඟරයේ හුදකළාව, එහෙත් මනා ලෙස අතුපතර විහිදුවමින් වැඩ හිඳී. 

2009 වසරේ දී මෙම ස්ථානය පුරාවිද්‍යා ස්මාරක බිමක් ලෙසට පත්කරන ලද අතර අද වන විට ත්‍රිකුණාමල නඟරයේ පුරාවිද්‍යා භූමියක් ලෙස ප්‍රකාශයට පත්වී ඇත්තේ මෙම ස්ථානයට අමතරව ෆෙඩ්රික් කොටුව පමණෙකි. 

අපේ චාරිකාවේ සම්පූර්ණ ඡායාරූප එකතුව මෙතැනින්...

ඔබටත් අප සමඟ එකතු වෙන්න පුළුවන්...  ඒ සඳහා 076-6642607 අමතන්න. 

අපේ මුහුණු පොතේ සමූහය සමඟ මෙතැනින් එකතු වෙන්න. 


MegaaHike කණ්ඩායම වෙනුවෙන්
චාරිකා සටහන  -ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ

Tuesday, 13 June 2017

පා ගමනින් දන්දෙණිකුඹුරට- හීන් ගඟෙන් එතෙර වෙලා ගලමුදුනට.........

නකල්ස් වන මැද සැඟව පිහිටි සාම්ප්‍රදායික ගම්මැදි වල දිවිගෙවන සරල මිනිසුන් පිළිබඳ කණින් කොණින් අසා තිබුණු කථාන්තර වල සත්‍යය සොයා මීමුරයේ සිට දන්දෙණිකුඹුර හරහා ගලමුදුනට ගිය අපේ චාරිකා සටහනේ මුල් කොටස පෙර අවස්ථාවක පළ කළෙමි. මේ එම චාරිකා සටහනෙහි දෙවැන්නයි...

පෙර චාරිකා සටහන සඳහා මෙතැනින් පිවිසෙන්න. 

බොළඳ ළියන් කර ඔසවා බලන බැලුම් -තුම්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්

‘එතකොට වල්පොලමුල්ල ලෝකයේ පොඩිම ගම වුණේ කොහොමද?  මේ ගමේ එක මනුස්සයෙක් ඉන්නව නම් මේකනේ පොඩිම ගම වෙන්න ඕන...’
‘මේක ආණ්ඩුවේ ලේඛණ වල තියෙන්නේ අතහැර ගිය ගමක් විදියට -මොකද මේ ගමේ ඉන්න එකම කෙනා  වෙන වෙද මාමගේ  පවුලේ අයගේ දැන් පදිංචිය විදියට ලියැවිලා තියෙන්නේ මීමුරය’ 


තවත් මීටර ගණනාවක ගමනකින් පස අපි දන්දෙණිකුඹුරේ මිනිස් ප්‍රාණියෙකුට වාසභවන වූ එකම නිවෙසට ගොඩවැදුණෙමු. තරමක් පැරණි පන්නයේ නිවෙසක් වූ එහි වහළ සෙවිල්ලා තිබුණේ උළු සහ තහඩු වලිනි. නිවෙසේ ජනෙල් සියල්ල වරිච්චි මැටි ගසා ආවරණය කර තිබිණි.
ගෙයි එක් පසෙක බිත්ති අලින් විසින් පෙරළා දමා තිබූ අතර වෙද මාමා සිදුකර ඇත්තේ නිවෙසේ ඒ කොටස අත්හැර දැමීමය. තනිව වෙසෙන ඔහුට ඉතිරි ඉඩ සෑහෙන නිසා යළි අළුත්වැඩියාවකින් තොරව අත්හැර දමා ඇති බව ඔහු පැවැසීය.
“පොල් ගෙඩි ටික දාලා තියන්න කාමරයයි, මට ඉන්න කාමරයයි තියෙනවා... සාලෙම ලිපක් බැඳගෙන උයං කනවා” යැයි පැවසීය.
එදින කරන්නට සුවිශේෂී රාජකාරියක් නොතිබූ නිසා අපිත් සමඟ ගලමුදුන ගමට යන්නට ‘දන්දෙනිකුඹුරේ මාමාද’ එකග විය.  එතෙක් හැඳ සිටි සරම වෙනුවට අපූරු ඇඳුමකින් සැරසී තලප්පාවක්ද හිස බැඳගත් ඔහු වක් පිහියක්ද, විට කන්නට අවශ්‍ය අඩුම කුඩුම මල්ලක්ද ගෙන අප සමඟ ගමනට එක් වූයේ නිවසේ දොර පවා වසා නොදමමිනි.
“මම උදේ මඩු පිටි ටිකකින් පිට්ටුවක් තම්බ ගත්තා...එන බව දැනගෙන හිටියනම් ටිකක් වැඩිපුර හදනවා...”
“මාමේ ඔය ඇදුම මොකද්ද? යටින් කළිසමක් වගේ උඩින් දෙපැත්ත කපපු සායක් වගේ”
“මේක තමා සරුවාලේ - ඉස්සර රජ කාලෙ ඉඳන් පිරිමි අය ඇන්ද ඇඳුමක්”

දන්දෙණිකුඹුරේ මාමාගේ ඉඩමේ සීමාව පසුකළ අපි ඊළඟට පිවිසුනේ මඩු ගස් යායකටය. අතිතයේ මෙරට තෙත් කළාපීය ජනයා නිතර දෙවේලේ ප්‍රයෝජනයට ගත් මඩු ශාකය දැන් අප වෙසෙන බස්නාහිර පළාතේ හෝ යාබද ප්‍රදේශ වල දක්නට ලැබෙන්නේ නැත. මඩු ගෙඩි වල මදය පදම්කර,  ඉන්පසු වේලා පිටිකර ගත් පසු පිට්ටු, රොටී සහ තලප සකසා ගැනීමට හැකි බව කීවේ දන්දෙණිකුඹුරේ මාමය. මඩු ගස් යාය කෙළවර වූයේ හීන් ගඟ ඉවුරෙනි.
ඊළඟ නිමේශයේ ගලන් ගලට පැන හීන් ගඟෙන් එගොඩ වන්නට අප පිරිසට සිදුවූ අතර දිය පොදකින් හෝ නොතෙමී සාර්ථකව ඒ ක්‍රමයෙන් එගොඩ වන්නට නම්  කණ්ඩායමේ සියළු දෙනාටම අවකාශ නොලැබිණි. සමහරු ආරම්භයේදීම අභියෝගයෙන් බැහැර ගිය අතර, ඉන්පසු ජල පහරට බැස ඇවිද යමින් එගොඩ වන්නට විය. කෙසේවුවද කැමරා ආම්පන්න දිවි දෙවැනි කොට රැකගැනීමේ වගකීම අකුරටම ඉටු කරන්නට අප සමඟ ගිය කැමරා ශිල්පීන්ට සිදුවිය.
“දැන් තමා අමාරුම හරිය.... වස්ගමුවෙන් මෙහෙට පැනපු අලි දෙතුන් දෙනෙක් අපි යන සාවියේ හක්කොළං කරනවා....  ඒ නිසා පරෙස්සමෙන් යමු...”

යළිත් ක්‍රමයෙන් ඝනවන කැලෑවේ,  වන මං දිගේ එකා පසුපස එකා යන නඩයක සාමාජිකයින් වූ අපි අසීරු මොහොතක එකිනෙකාට සහය වෙමින්ද, පසුපසින් එන අනෙකා ගැන විමසිලිමත් වෙමින්ද දණහිස බිම වදින නැග්මක නිරත වීමු. පැය භාගයක පමණ අසිරු ගමනකින් පසු හමුවූ සිහින් දිය කඩිත්තක් අද්දර නැවැතුනු අපි පෙර සකස් කරගත් ජීවනී සහ ග්ලූකෝස් මිශ්‍ර කර තැනූ ජල බෝතල් වල පිහිට පැතුවෙමු. බෑග්වල අසුරාගෙන ආ විස්කෝතු පැකට්ටු දෙක තුනකටද වග කීවෙමු.
එහෙත් එයට දායක නොවූ අබේකෝන් මාමාත්,  දන්දෙණිකුඹුරේ වෙද මාමාත් වෙහෙස නිවාගන්නට සිදු කලේ විඩක් හැපීමය. අපි දන්නා සුපුරුදු විඩට බුලත් අනිවාර්යය වූවත් දුම්බර මිනිසුන් බුලත් වෙනුවට යොදාගන්නේ “තලා” කොලය.  මදුරුතලා ලෙස හඳුන්වන තලා කොළයට වඩා තරමක් විශාල මේ තළා කොලය “හීන් තලා” ලෙසද හඳුන්වනු ලැබේ. අඩි දෙක තුනක් උස්ව වැඩෙන මේ ගසේ කොළ මින්ට් සැරකට සමාන සැරකින් සහ සැර සුවඳකින් යුක්තය. බුලත් හැපීමෙන් දත් වල බැඳෙන කහට මේවා හැපීමෙන් ඉවත්ව යාමක්ද සිදුවෙන බව කියයි.
දන්දෙණිකුඹුරේ සිට පැය දෙකක පමණ සීග්‍ර  නැග්මකින් පසු අපි තැන්නකට පිවිසියෙමු. පෙර සඳහන් කළ වන අලින් ගැවසෙන ප්‍රදේශය එය වූ අතර අපගේ වාසනාවට එහි ඒ වන විට අලි සිටියේ නැත. තැන්න කෙළවර කුඹුරු යායකි. ඉන් ඔබ්බෙහි කඳු වලල්ලකි. ඒ කඳු වළල්ලේ අඩ උසකින් ඈතන් පෙනෙන ගෙවල් මණ්ඩියකි.


‘අර පේන්නේ ගලමුදුන ගම තමා’.... ‘ඔහොම පෙනුනට තව පැයකට වැඩි ගමනක් තියෙනවා’
 අප සිටින තැන්න හාත්පසින්ම කඳු යායකි. නකල්ස් වනාන්තරයේ බොහෝ ස්ථාන වලට පොදු මෙම  හාත්පස දසුන බෙහෙවින්ම චමත්කාරජනකය. ඈතින් පෙනෙන කුඹුරු යායේ ගොයම් කපන ගැමි ගොවීන්ගේ ගොයම් කවි තාලයන් මදින් මද ඇසේ... ඒ ඇසෙන විට අප දකින්නේ හීනයක්දැයි සිතුනේ නිරායාසයෙනි.  ජීවිත කාලය පුරාවට සාහිත්‍ය කෘති වලින් කියැවූ ඒ සුන්දර අතීත කතාව  අප දෑස් කෙළවර චිත්‍රණය වී තිබේ... ඇසෙනා කවියක් දෙකක් හුරු පුරුදු ඒවා වූ අතර අනෙක්වා පෙර ඇසු මතකයක් නොතිබිණි.
රන් දෑකැති ගෙන නිති සැරසෙනවා
රත්ත්‍රං පටි ඉන වට දිලිසෙනවා
හිරුදුටු පිණිබිදු සුලඟේ යනවා
දුම්බර කෙතෙ- අපි ගොයම් කපනවා’’

“දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම්
මාවැලි ගඟේ දිය බැඳලා කෙත‍ට ගිලුම්
බොළඳ ළියන් කර ඔසවා බලන බැලුම්
තුම්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්”

පපුව පුරවා හුස්ම උරන්නට හැකි සිහිල් පවන් රැල්ලක් තැන්න හරහා ඇදී යයි. අපි ඉසිඹුව අවසන් කර යළි ගමන් ඇරඹූවෙමු. කුඹුක්, මී, රුක් අත්තන ආදී ගස් යායක් අද්දරින් ගලා යන සිහින් දොළ පාරකි. පතන මායිමෙන් ඇදී යන අඩි පාර ක්‍රමයෙන් දොළ පහරට සමාන්තරව ඇදී යයි...
“පරෙස්සමෙන්... ඔය වදුළු වල අලි නිදාගෙන ඉන්න ඉඩ තියෙනවා....”

පෙරට තබන අඩිය දෙවරක් විමසිළිමත්ව තබන්නට කටයුතු කළ අපි අවධානයෙන් යුතුව ඉදිරියට පියමැන්නෙමු.... අවසානයේ අප නැවතුනේ දොළ අද්දර ගල් තලාවකිනි. එතැනින් දොළෙන් එගොඩ වූ අපි කුඹුරු යායේ ඉහත්තාවට ගොඩ වූයෙමු. එතැන කමතකි. එහි කොළ මැඩුමකි. එහි ඡායාරූප කිහිපයක්ද ගෙන  කමතට නොබැස එය මඟහැර ගලමුදුන ගම දෙසට වූ අඩිපාරට පිවිස අපි යළිත් පිවිසියේ දණහිස පොළොවේ වදින තරමේ ආනතියකින් වූ කඳු නැග්මකටය. එම අසීරු බැවුමේ පහළට ලිස්සා යමින් නොයමින් උඩට යන අපි පුදුම කරවමින් දවස් කිහිපයකට පෙර හෙළූ වියළි ගිය අලි වසුරු ගොඩවල් කිහිපයක් හමුවිය. අපටත් යන්නට අසීරු මේ වන මං දිගේ අලි පැමිණ ඇති බවට එය කදිම සාක්ෂියකි. තවත් අඩ පැයක පමණ ගමනකින් අපි ගලමුදුනේ පළමු නිවෙස අබියසට පැමිණියෙමු.



මට්ටම් කරගත් ගෙමිදුලක සාමාන්‍ය පොළවට වඩා අඩි දෙකක පමණ උස් වූ   පස් පිරවුමක කටුමැටියෙන් ඉදිකර ඇති මෙම නිවස අඩි 10-12ක් පමණ දිගය. අඩි 8ක් පමණ පළලය. ඉදරිපස දොරක් සහ පසුපස දොරක්ද ජනේල දෙකක්ද නිවසටම වූ අතර නිවසට යාබදව වෙනමම කුස්සිය ඉදිකර තිබේ. නිවසේ ඇතුළත එක් බිත්තියක් පවතින අතර එයින් නිවෙස කොටස් දෙකකට බෙදා තිබේ. පොදුවේ ගම්මානය පුරාම නිවෙස් වල ආකෘතිය සමාන වූ අතර නිවෙස් වල ප්‍රමාණයන්ගේ වෙනස්වීම් දක්නට ලැබිණි.   මෙම නිවෙසට ඇස්බැස්ටෝස් ෂීට් අසුරා තිබුණද සමහර නිවෙසක පිදුරුද, ටකරන්ද සෙවිලි කර තිබිණි. බිමට ගොම ගා තිබූ අතර ඇඳක් ලී බංකු එකක් හෝ දෙකක්  පෙට්ටගමක් වැනි පෙට්ටියක්  ගෘහ භාණ්ඩ ලෙස දක්නට ලැබිණි.  අපිළිවෙලම පිළිවෙල ලෙස සලකා තැනින් තැන අදින ලද වැල් වල රෙදි දමා තිබුණු අතර ගෙතුළ සීමිත ගෘහ භාණ්ඩ කිහිපයට අමතරව පැවැතියේ වී ගෝනි කිහිපයක් පමණි.
අප “ගලමුදුන” ගමට ගිය දවස ඉරිදා වක් වූ බැවින්  එදින පාසැළට නිවාඩු දිනයක් විය. එබැවින් එහි ගුරුභවතුන් පවා නිවාඩු ගොස් තිබිණි. හසළක සිට රජකාරී දිනයට පමණක් ගමට පැමිණෙන ග්‍රාම නිළධාරි වරයාද එදින එහි නොසිටි අතර ගමේ සමෘද්ධි සමිතියේ ලේකම් රන්දුන්නේ මුදියන්සේලාගේ නිමල් හාමි අපේ විස්තර විමසිම් වලට පිළිතුරු සපයන්නට ඉදිරිපත් විණි. ඔහුගේ විස්තරයට අනුව ගමේ පවුල් තිස් තුනකි. ගම්වැසියන් අසූ ගණනකි. ඒ පාසැල් ළමුන්ද සමඟය. ඡන්දදායකයින් හැටකි. පාසැල අවුරුදු හතළිහක පමණ පැරණිය. එයට පහසුකම් අඩු නැත. අඩුවකට ඇත්තේ ළමුන්ය. උදාහරණයකට 2017 පහේ ශිෂ්‍යත්වය ලියන්නට ඉන්නේ එක් දරුවෙකි. සාමාන්‍ය පෙළ ලියන්නට එක් දරුවෙක්වත් නැත.  විහාරස්ථානයක් ඇතත් ස්වාමීන් වහන්සේ නමක් නැත. ගමට තිබෙන ප්‍රධානම ගැටළුව වතුරය. නමට සරිලන සේම කන්දක් මුදුනක ගම පිහිටා ඇති බැවින් හීන් ගඟට යාමට සැතැපුමක් පමණ පල්ලම් බැසිය යුතුය. කන්දෙන් ගලා එන පීල්ලට සැතැපුම් භාගයකි. පුද්ගලික දානපතියෙකු විසින් වසර කිහිපයකට පෙර සකස්කර දුන් ජලනල ව්‍යාපෘතියේ බට අලින් විසින් පාගා දමා ඇති නිසා එහි ජලය පාසැලට පමණක් සීමා වී තිබේ. ලොරියක් ඒමට පවා හැකි පළල් පාරක් ගමට තිබුණද අතරමග ස්ථාන දෙකකින් පාලම් ඉදිකර නැති නිසා එම මාර්ගයෙන් ගමට ප්‍රවාහන පහසුකම් සපයා ගැනී අසීරු වී ඇත. ඒනිසා හසළකට යන්නට ගිනිපෙට්ටි පාළම දක්වා සැතැපුම් 4ක් පමණ පයින් යන්නට සිදුව තිබේ.




ඔහුගේ විස්තර කථනයට සවන් දුන් අපි ඉන් අනතුරුව ඇවිද ගියේ ගමේ වැඩිහිටියා වූ ‘පේ මාමා’ සොයාගෙනය. ගමම නෑදෑයින් වූ අතර බොහෝ දෙනා රන්දුන්නේ මුදියන්සේ ලාගේ පරම්පරාවේ ඇත්තෝ වූහ. වළගම්බා රජ සමයේ පැවැති “බැමිණිතියා සාය”  සමයේ සිදුවූ සිදුවීමකැයි සිතිය හැකි කතාන්දරයක අග, මුල මැදට රාවණාද, කන්දේ බණ්ඩාර දෙවියන්ද සම්බන්ධ කර අපූරු පුරවෘතයක් ගොඩනඟා පරම්පරාවේ ඉතිහාසය අපට කියූ පේ මාමාගේ කතාව අසම්පූර්ණ සාහිත්‍යාංගයක් විය.  වයස අවුරුදු අසූවද ඉක්මවා ගොස් ඇති ඔහුව වෙහෙසවමින් එහි අසම්පූර්ණ තැන් පුරවාලන්නට නොකැමති වූ අපි යළිදු දිනයෙක පුරාවිද්‍යා දැනුමෙන් සහ සමාජ විද්‍යා දැනුමෙන් යුතු පිරිසක් සමග පැමිණ ඔහු හමුවන පොරොන්දුව පිට ඔහුගෙන් සමුගත්තෙමු.

කඳු වළල්ලකින් වටවූ අක්කර දහයක දොළහක පරාසයක විහිදුණු ‘ගලමුදුන’ ගමේ පදිංචිකරුවන්ගේ මහ කුඹුරුයාය පිහිටියේ ගමෙන් පිටතය. අප එන මඟ පසෙකින් කමත් කවි ඇසුණේද, කොළ මඩවිල්ලක්ද පැවැතියේ  ඒ කුඹුරුයායේය. ඊට අමතරව ගමේ නිවාස පිහිටි ඉසව්වේද  කුඩා කුඹුරු යායක් තිබේ. වී වගාවට අමතරව දුම්කොළ බඩ ඉරිඟු සහ මෑ, වැටකොළු, පතෝල වැනි ගොඩ එළවළු වර්ග ඔවුන් විසින් නිවාස ආශ්‍රිත බිම් වල වගාකර තිබේ. මෑතක සිට පුද්ගලික ආයතනයක මැදිහත් වීමකින් ගර්කින් වගාව ගලමුදුන ගමට හදුන්වාදී තිබේ. පවුල් විස්සක් පමණ එම සමාගම සමඟ සම්බන්ධ වෙමින් ගර්කින් වගාවේ යෙදෙති.



ගලමුදුන විද්‍යාලයේ සිසුන් විස්සක් පමණ ඉගෙනුම ලබති. විදුහල්පතිවරයා සමඟ තිදෙනෙකුගෙන් සමන්විත ගුරුමණ්ඩලයක් ඉගැන්විමේ යෙදෙති. අතිරේක වේලාවන් පවා යොදාගනිමින් ශිෂ්‍යත්වයට සහ සාමාන්‍යපෙළට පෙනී සිටින සිසුන්ට උගන්වන එම ගුරුභවතුන් ගැන ගම් වසියන්ගේ සහ සිසුන්ගේ ඇත්තේ ප්‍රසාදයකි.
සියළු දෙනා බෞද්ධයින් වන අතර ප්‍රාදේශිය දෙවිවරුන් ලෙස ‘කන්දේ බණ්ඩාර දෙවියන්’ සහ ‘අළුත් බණ්ඩාර දෙවියන්’ අදහන ඔවුන් , සාම්ප්‍රදායික වාර්ෂික දේව පූජාවන් අතර යක්කම සහ කෙම්මුර මංගල්‍යයන් පවත්වන බව පවසයි.



පැය කිහිපයක් තිස්සේ ඔවුන් සමඟ ගම පුරා ඇවිදිමින් සුහද පිළිසඳරක යෙදෙමින් වගතුග විමසූ අපි සවස තුන පමණ වන විට ඔවුන්ගෙන් සමුගන්නට තීරණය කළෙමු. ඒ යළිත් දිනෙක දුම්බර කඳුයාය මැද හුදකළාව වෙසෙන ඔවුන්ගේ අව්‍යාජ ජීවිතය විඳින අපේක්ෂාවෙනි.  එහෙත් ඒ පැතුම හිතළුවක් වන්නටද ඉඩ තිබේ. හුදකළාවෙන් මිදී කාර්යබහුලත්වයට මාරුවී අද දවසේ මීමුරයට අත්වූ ඉරණම නොබෝ දිනකින් හීන් ගඟ හරහා ඉදිකෙරෙන පාළමකින් බාහිර ලෝකය සහ සම්බන්ධ වන ඔවුන්ටද අත්විඳින්නට සිදුවනු ඇත. එහි මූලික අඩිතාලම දැනටත් වැටී හමාරය. 


එහෙත් බාහිර ලෝකය අත් විඳින නවීනත්වය ඔවුන්ට අකැපයැයි, එය අත්විඳිමින් සිටින අපට තීරණය කළ නොහැකි වුවද නවීනත්වයේ අප දකින අහිතකර සාධක මඟින් ඔවුන්වද වෙලාගෙන අව්‍යාජත්වය පළාගිය මිනිස්කම මුදලින් මනින සමාජයකට ඔවුන්ද ගොදුරුවීම ගැන කණගාටුවක් සිත තුළ ඇත.  ඒ සිතුවිලි දෙගිඩියාවෙන් ගලමුදුනෙන් පල්ලම් බසින අපිට හමුවුණේ වෙල් ඉපැනැල්ලේ ටෙනිස් බෝලයකින් සහ පොල්පිති පිත්තකින් ක්‍රිකට් ගසන ගැමි දරුවන් පිරිසකි. ඔවුන් සමඟ මද වේලාවක් සෙල්ලම් කරන්නටද ප්‍රමාද වූ අපි සැඳෑ අඳුරට පෙර දන්දෙණිකුඹුර කරා එන්නට පල්ලම් බැස්සෙමු. 
ඔබටත් අප සමඟ එකතු වෙන්න පුළුවන්...  ඒ සඳහා 076-6642607 අමතන්න. 

අපේ මුහුණු පොතේ සමූහය සමඟ මෙතැනින් එකතු වෙන්න. 


MegaaHike කණ්ඩායම වෙනුවෙන්
චාරිකා සටහන  -ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ