See Also

Monday 9 May 2016

පැය 68කදී රටේ පළාත් පහක්- දිස්ත්‍රික් 12ක් පසුකරමින් ගිය MegaaHike චාරිකාව

යාල වන මැද සුන්දරව ගෙවුණු දෙදවසක කතාව  - පළමු කොටස


සති අන්ත සිකුරාදා දිනයක් වූ 2016 මාර්තු 25දා සවස හයේ හෝරාව යනු,  බොහෝ දෙනා සිය නිවෙස් බලා යන්නට වෙර දරණ මොහොතක් වූවද,  නිබඳ සැරිසරණ සරල පිය සටහන් උරුම ගවේශකයින් වූ අප එදින නිවෙස් වලින් බැහැරව මරදාන දුම්රිය පොළට එක්රැස් වූයේ අපගේ පස්වන ගවේශන වැඩසටහන ආරම්භ කිරීමටය.... 

මාස එක හමාරකට පමණ වරක් දිවයිනේ කිසියම් ප්‍රෙද්ශයක සාමාජීය, ආර්ථික , ඓතිහාසික හෝ පාරිසරික වටිනාකම් සොයා යන අප MegaaHike ගවේශන කණ්ඩායම  සාමාජිකයින් සියයකට අධික පිරිසක ගෙන් සමන්විත වේ. ඉන් දස දෙනෙකු පමණ එක් වැඩසටහනක් සඳහා සහභාගී කර ගැනේ....

මමත් වරුණත් චමීරත් පළමුවෙන්ම මරදාන දුම්රිය පොළට එක්රැස් වූ අතර මොහොතකින් සඳුන් ද, ළහිරු ද  පිරිසට එක්වුණා... කොටුවේදී මාධවත්, පේරාදෙණියේදී ඕදිත සහ දිප්පුලත්, නාවලපිටියේදී ඉජාස්ද, බණ්ඩාරවෙලින් හර්ෂද ගමනට එක් වන්නට නියමිත සාමාජිකයින් වුණා... 

කොටුව බලා යන්නට පැමිණි රාත්‍රී තැපැල් දුම්රියට මරදානින්ම නැඟුණු අපි විනාඩි දහයක ප්‍රමාදයකින් කොටුවෙන් පිට වූයේ රාත්‍රී 8.10ටය. හැටන් බලා යන විශේෂ දුම්රියක් තැපැල් දුම්රියට ඉදිරියෙන් ධාවනය වූ නිසා මගී පිරිසේ තරමක අඩුවක් පැවැතීම අපිට පහසුවක් වුණා....  නැවැත වේයන්ගොඩදීත් තවත් විනාඩි දහයක පහළොවක ප්‍රමාදයෙන් ගමන් ඇරඹූ දුම්රියේදී රාත්‍රි ආහාරය ලෙස චමීර ගෙනා මාළුපාන්- රෝල්ස් සහ කිරි පැකට් ලබා ගත් අපි වරින් වර ලබන කෙටි නින්දකින්  සෑහීමකට පත්වෙමින් ගමන් කළෙමු. 

“අයියා... තාම කෝච්චිය රඹුක්කනට ආවේ නැද්ද? ...... “ ඕදිත මල්ලි ගෙන් මීරිගම පසු කළ තැන පටන් ඇමතුම් ලැබෙන්නට පටන් අරන්.....

“අයියා... මට ගම්පොළ දී කියන්න..... , මට ස්ටේසමට පයින් එන දුර...“ ඒ මතක් කිරීම ඉජාස් මල්ලි ගෙන්..... 

නින්ද බිඳින්නට අපේම සාමාජිකයින්ගේ මඟ තොරතුරු විමසීම හේතු වුණත් අංශු මාත්‍රයකවත් හිතේ කහටක් මතු නොවුණේ අපේ වැඩසටහන සාර්ථක කරන හයිය හත්තිය ඔවුන් කියල ප්‍රධාන සංවිධායක හැටියට මම හොඳින්ම තේරුම් අරන් හිටිය නිසා......

සැළසුම් කරපු විදිහටම නාවලපිටියට එද්දි අපේ සහෘදයින් දුම්රියට ගොඩ වුණත් ඒ වන විට දුම්රිය හරියටම පැයක් ප්‍රමාද වෙලා තිබුණා.... නාවලපිටියෙදි දුම්රිය වෙළෙන්දන්ගෙන් මිළදී ගත්  වඩේ සහ ඉජාස්ගේ මව විසින් අපේ පිරිසට සකසා දුන් සීනි සම්බොල් මැදි කළ රසවත් පාන් පෙති ආහාරයට ගත් අපි ආපහු කුකුල් නින්දට වැටුනා.....

වටවල, හැටන්, නානුඔය, ඔහිය, හපුතලේ පසුකරමින් පැමිණි දුම්රිය බණ්ඩාරවෙලට එද්දි උදේ 6යි. බණ්ඩාරවෙලින් හර්ෂ සහෘදයා අපිත් එක්ක එකතු වුණේ “සුබ උදෑසනක්“ ප්‍රාර්ථනා කරමින්.... අවසානයේ 7.15 ට ඇල්ලෙන් බහිද්දි අපේ වැඩසටහනේ සම්බන්ධිකාරකයා වන මාළිගාවිල මංගල මල්ලී ඇවිත් හිටියා.... 
කෝච්චියෙන් බැස්සත් හර්ෂගෙත් - සඳුන්ගෙත් - චමීරගෙත් සෙල්ෆි වර්ෂාවෙන් ගැලවෙන්න බැරිවුණු නිසා අපේ පිරිසට ස්ටේෂමෙන් එළියට එන්න තවත් අඩ හෝරා අඩක් විතකර වැයවුණා.... 

“කෝච්චිය පරක්කුයි නේද?“ “මම උදේ පහමාරේ ඉඳන් මෙතැන......“ මංගල එහෙම කිව්වේ බුලත්විටට පදම් වුණු මුවෙන් සිනහවකුත් වගුරවන ගමන්...... 

වැඩසටහනේ සැළසුම් සාර්ථකව සංවිධානය වී තිබීම ගැන සතුටක් තිබුණත් අපිට පාලනය කරන්න බැරි දුම්රිය ප්‍රමාදය නිසා දවසේ සැළසුම් අවුල් වේවිද කියන බයකුත් දැනුණා...

ඇල්ලෙන් පල්ලම් බහින්න පටන් ගත් අපි දෙමසක පෑවිල්ලෙන් සිහින් වුණු රාවණා ඇල්ල ළඟ නැවතුනේ හර්ෂ ප්‍රමුඛ අපේ සෙල්ෆි ශිල්පීන්ගේ සෙල්ෆි වැස්සේ තෙමෙන්න... ඒකේ ප්‍රතිඵල මේ ලිපියට අමුණලා තියෙන්නේ කාට කාටත් දැක ගන්න... 

ඇල්ලෙන් වැල්ලවායට යනකොට රාවණා ඇල්ල ආසන්නයේ හමුවන රොටී කඩ දෙක පුද්ගලික වාහන වලින් ගමන් යන සාමාන්‍ය පන්තියේ මිනිසුන් අතර බොහොම ජනප්‍රියයි.... එයින් දෙවැනියට හමුවන රොටී කඩෙන් උදේ ආහාරය ගන්න අපි තීරණය කළේ .... තවත් පැයකින් හමාරකින් අපේ හේන් වාඩියට ගිහින් තම්බපු මඤ්ඤොක්කා ටික කනකම් අපේ බඩ පණුවො ඉවසන්න කැමැති වුණේ නැති නිසා....මොකද කළින්දා රෑටත් හරි හමන් කෑමක් ලැබුණෙ නැති නිසාත් - දුම්රිය ගමනේ තෙහෙට්ටුව මකන්නත් - දුම්රියේ පැයක ප්‍රමාදය නිසාත් ඒ මොහොත වන විට ඇඟට දැනෙන බඩගින්නක් අපි හැමෝටම තිබුණා....

පොළොස් මාළුවක්- පරිප්පු හොද්දක් සහ පදමට ඇනූ ලුණු මිරිසක් සමඟ එකට අනා රොටී දෙකතුනකට බැඟින් වග කිව් හැමෝම හකුරු කෑල්ලක් එක්ක කහට කෝප්පයක් බොන්නත් අමතක කළේ නෑ...

ඉන් අනතුරුව ඉද්ද ගැහුණු පාර දිගේ මැක්සිමෝව ලෑල්ලට පාගන්න මංගල මල්ලි අමතක නොකළේ අපේ කාර්යබහුල ගවේශන වැඩසටහනට බාධා නොවීමට නම් කාලය සමග තරගයක් අපිට තිබුණු බව අවබෝධ කරගෙන.... වාහනයේ වේගය කොහොමද කියනව නම් අපේ නඩයේ සඳුන් මල්ලිගේ තොප්පිය පවා හුළඟට දන් දෙන්න සිද්ධ වුණා....දවස් දෙකට අවශ්‍ය අවශේෂ අඩුම කුඩුම ගන්නත් තවත් මොහොතක් බුත්තල නඟරයේ නැවතුනු අපි ඊළඟට දෙමටමල් විහාරය- කුඹුක්කන් ඔයෙන් එගොඩ වෙලා ඔක්කම්පිටිය පහු කරගෙන කුඹුක්කන් ඔය ඉවුර අයිනෙම තියෙන අපේ හේන් වාඩියට ගියා..... 


යාලෙ කැළේ මායිමේ කරත්ත පාරක් දිගේ ඉදිරියට යන අපේ වාහනය දෙපසින් වැවිල තිබුණු කටු පඳුරු ආදියෙන් තමන්ගේ පිට පෙදෙස් ආරක්ෂා කරගන්න අපේ වාහනයේ පිටුපස ඉඳගෙන ගිය පිරිසට සෑහෙන වෙහෙසක් ගන්න වුණා.... සුමට නොවන රළු පාරක සැතපුම් හතරක් විතර දුර ගිය අපි අවසානයේ නතර වුණේ තහඩු කැබැල්ලක අලියෙක්ගේ රුවක් සටහන් කළ පුවරුවක් ළඟ....

“මෙතැනින් එහාට යන්න බෑ.....-- බහිමු..“ මංගල මල්ලි කිව්වා....
“මේ මොකද්ද? “ වාහනේ ඉස්සරහ වාඩි වෙලා ගිය චමීර ඇහුවා....
“මේක තමයි අපි නවතින හේනේ මායිම..... මේ හේන වටේ ඇදපු අලි වැට...“
කට්ටියම දනි පනි ගාලා මැක්සිමෝවෙන් බිමට පැන්නා... 

මෙවර අපේ ගවේශන චාරිකාව අරමුණු වුණේ ඔක්කම්පිටියට එපිටින් යාල කැළේ මායිමේ හේන් පැළක රැයක් ගතකරමින්- ඔක්කම්පිටියේ මැණික් ඉල්ලම් කණින මිනිසුන් සොයා යාමත් - හේන් ජීවිතයේ කටුක බව අත්දැකීමත් - මිනිස් ඇසට අසු නොවන යාල කැළයේ සුන්දර ප්‍රෙද්ශ වල පාගමන් සංචාරයක යෙදෙමින් මහානාග රජ සමයේ ඉදිකළ හෙබැස්ස නම් පුරාණ වෙහෙර සොයා යාමත්ය.... 

හේනේ මායිම ඉඳන් බැලුවහම ඈතින් පුංචි පැල්කොටයක් දිස්වුණා.... වහලෙට ටකරන් හෙවිල්ලලා තිබ්බ පැළට එපිටින් ලොකු සියඹලා ගසකුත් පේන්න තිබුණා.... වාහනයෙන් බැස්ස හැමෝගෙම ඇස් යොමුවුණේ සියඹලා ගහට.... මොකද අද රාත්‍රියේ අපේ පිරිසේ නවාතැන වෙන්නේ මේ සියඹලා ගසේ අතු පතර අතර හැංගිලා තියෙන රුක් වාඩිය..

“කෝ වාඩිය පේන්න නෑනේ....“ සඳුන් කළබලයෙන් වගේ කිව්වා

“ගිහිල්ලම බළමු... “ කියපු හර්ෂ මල්ලි මංගල මල්ලිගේ පස්සෙන් කඩුල්ල පැනලා හේනට පිවිසුණා....

තැනින් තැන කෙසෙල් ගස් පණහක් හැටක් - මිරිස් පැළ ගණනාවක් සහ මඤ්ඤොක්කා යායක් මැද්දෙන් අපි හේන් පැළට කිට්ටු කළා.... පිළිවෙළකට වගා නොකළ හේනේ මුඛ්‍ය අරමුණ වගා කිරීම නොවන බව අපිට වැටහුණේ හේන් පැලට ගියාට පස්සේ.... හේන අයිති කළු මාමත්- එයාගේ පුතා චමින්දත් - රත්නපුරේ ඉඳන් මැණික් ගරන්නම ඔක්කමපිටි ආව සෝමෙ මාමාත් හේනේ හිටියා....

“මහත්තලෑ හිතුවට වඩා පරක්කුයි නොවැ.....“ එහෙම කියාගෙන මිදුලට ආපු කළු මාමා අපේ පිරිසට බෑග්- ලැප්ටොප්- කැමරා එහෙම තියාගන්න සූදානම් කරපු මැස්ස ගාවට එක්කගෙන ගියා....

“ඕන්න ඔය බර බෑග් එහෙම මැස්සෙන් තියලා.... හෙවණෙන් වාඩි වුණා නම්.....“

බෑග් එහෙම තියපු අපේ පිරිස වාඩි වෙන එක පැත්තක තියලා ඈතදි නොපෙණුනු දැන් පැහැදිලිව පෙනෙන රුක් වාඩියට නගින්න ගත්තේ පොරකකා..... 

සියඹලා ගසේ පාමුල සිට අත්වැලක් පිටතින් සැකසූ, දණිස් ඉහළ පඩි වල වදින තරමේ ආනතියක් සහිත  ලී පතුරු සවිකළ රවුම් පඩිපෙළක  ඉහළට නැග පිවිසෙන්නට ඇති මේ රුක් නිවස තට්ටු දෙකින් සමන්විත එකක්. 




සාමාන්‍ය තරමේ මිනිසුන් දහ දොළොස් දෙනෙකුට පහසුවෙන් සිටිය හැකි වුණත් සාමාන්‍ය මිනිසුන්ට වඩා තරමක් හැඩි දැඩි හර්ෂ -චමීර - වරුණ්- ඕදිත- වැනි පිරිස් අපේ සාමාජිකයින් වුණු නිසා දහදෙනාට මේක සෑහෙයිද යන ගැටළුව තමා මුළින්ම මතු වුණේ.... 

අනෙක් නුහුරු අත්දැකීම වුණේ පහළට නොදැනෙන උඩු හුළඟින් ගහ සෙළවෙන විට රුක් නිවස තුළ සිදුවන පැද්දීම.... ජීවිතයේ පළමු වරට හෝ කාළයකට පසු ලබන අත්දැකිමක් වූ නිසාත්... පිරිසේ බර ගැන පැවැති අධි තක්සේරුවත් නිසා ඒ පැද්දීම ගැන සැකයක් පිරිස තුළ මතුවීම ස්වභාවිකයි....

පතුළට ලෑලි අතුරා රුක් නිවස වටකොට තිබූ කෝටු අතරින් බැලූ විට දුටු දර්ශනය ඡායාරූප වලින් විස්තර කරන්න බැරි තරම් සුන්දරයි.... හේන මායිමෙන් කලන කුඹුක්කන් ඔය සහ දෙපස ඉවුර සුන්දර දර්ශණයක් විදියට රුක් නිවසට පෙනුනා... අප පැමිණි පාරත් - අප පැමිණි අතර මග පසු කර ආ කුෂ්ඨගල නම් පර්වතයත් අවට හේන් යායවලුත් - ඔයෙන් එපිටහ පිහිටි යාල කැළයත් කිසිදා අමතක නොවන සුන්දර දර්ශනයන් පෙළක් විදියට තවමත් හදවතේ ඇඳිලා තියෙනවා..... 

“හ්ම් ලස්සන බල බලා ඉඳලා හරියන්නේ නෑ... - මුහුණ හෝදලා - උදේ කෑම කමු....“ වැඩසටහනේ සංවිධායක වරයා කෑ ගහනන ගත්තා....

කට්ටිය හුඹහින් එළියට ඇදෙන නාගයෝ වගේ පඩිපෙළ දිගේ පල්ලම් බස්සා....

දත් බුරුසු- දත් බෙහෙත් - සබන් - තුවා අතට ගත්තු අපි හැමෝම අඩි පාර දිගේ කුඹුක්කන් ඔයට පියවර මැන්නා..... 

“දත් මැදලා මූණ හෝදලා හරි යන්නේ නෑ.... නාන්නම ඕන....“ හර්ෂ කිව්වා...

චමීර කළින්ම වතුරට බැස්සා.... අන්තිමටම මාධවත්.... දැන් ඉතින් වැව් බලනවා බොරු... 

පැයකින් හමාරකින් දියෙන් ගොඩවුණු අපි උදේ කෑමට හදපු මඤ්ඤොක්කා උදේටද, දවාලටද කියලා හිතාගන්න අමාරු අතරමැදි වේලක ට කන්න ගත්තා.....

වේල පිරිමහගන්න මඤ්ඤොක්කා ටික මදි වුණේ... දැනුනු කුසගින්නේ තරමට වඩා අපේ කට්ටියගේ පෙරේත කම වැඩි වුණු නිසා කියලයි හිතෙන්නේ... 

පදමට කහ දාලා තම්බපු පිටි මඤ්ඤොක්කා ටිකක් මිරිස් කෑලි ටිකක්  ගාගත් පොල් - පොල් කෑලි සහ කැබලි මිරිස්  සමග තෙම්පරාදු කරලා උණු උණුවෙන් තියෙන කොට කාපු අපේ විතරක් නොවේ... කියවන ඔබෙත් කටට කෙළ උනනවා කියල සහසුද්දෙන්ම දන්නවා.... ඉතින් අපේ කණ්ඩායමේ කුසගින්න පරදලා පෙරේතකම මතුවුණා කියන එක බොරුවක්ද? 

නෑ... සහතික ඇත්ත....  මඤ්ඤොක්කා ගෙනා ප්ලාස්ටික් බාල්දිය  විනාඩි දෙක තුනෙන් හිස් වෙලා ගියා.... කැමෙන් පස්සේ හේන් පැලේ ලිප් බොක්කේ වැහුමක් නැති කේතල් කෑල්ලක පැහුණු වතුරෙන් හැදුව කහට උගුරකුත් බීලා අපි අපේ වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වුණා....

වේලාව උදේ එකොළහට කිට්ටුයි.... දවල් කෑම ටික පාර්සල් හැටියට බැඳගෙන ආයෙමත් වාහනේට නැඟුණු අපේ පිරිවර සන්නද්ධ වෙලා හිටියේ කැමරා උපාංග වලින්..... 

“පිටිපස්සෙ ඉඳගෙන යන අය දෙපැත්තේ කටු ගස් වලින් පිටවල් පරෙස්සම් කරගන්න... දැන් අපි යන්නේ යාල කැලේ ඇතුලේ සත්තු යන පාරවල් දිගේ.... අලි එහෙම දැක්කොත් කෑ ගහන්නේ නැතිව බලන්න.... වාහනෙන් එහෙම බහින්න එපා..... “ මංගල මල්ලී අපි හැමෝටම අවවාද දුන්නා....

අපේ නඩය ඇල්ලට පැමිණි මොහොතේ සිට පසුදා සවස ඇල්ල දක්වා යනතුරු වගකිම භාර වෙන්නේ මංගල මල්ලීට... කැලෑ ගමනට හේන් වාඩියේ චමින්දත් - තවත් ගම් වැසියෙකුත් අපිත් එක්ක සම්බන්ධ වුණා..... කැලෑ පාරවල් සහ සතුන්ගේ දඩමං හොඳින් දන්න ඔවුන්ට යාල කැලේට වැසී ගිය  පැරණි වැව් සහ නටඹුන් ගැනත් පැහැදිලි අවබෝධයක් තිබුණා.... 

කුඹුක්කන් ඔය ඉවුර දිගේ ගිහින් බෝගස් හන්දිය පසු කරපු අපි ඊළඟට ළඟාවුණේ තවත් අපූරු තැනකට... එතැන පසෙකින් රජය විසින් ඉදිකර තිබූ වැල් පාලමක් දක්නට ලැබුණා.... වැල් පාළමට පහළින් කුඹුක්කන් ඔයෙන් එතෙර වන්නට සපත්තු පාළමක් ඉදිකරලා තිබුණා... මංගල මල්ලිගේ මැක්සිමෝව සපත්තු පාළමෙන් එගොඩට යද්දි අපේ නඩය වැල් පාලමෙන් එගොඩ වෙන්න තීරණය කළා...







හුණු වටයේ කතාවේ ගෘෂා වගේ බොහොම පරෙස්සමෙන් වැල් පාළමෙන් එගොඩ වෙන්නට සූදානම් වුණු  අපිට ඕදිතගේ- හර්ෂගේ සහ ළහිරුගේ කැමරා ඉදිරියේ රඟපාන්නත් වුණා... ඒ රඟපෑම් වල ප්‍රතිඵල අපේ ඡායාරූප ගොනු වල ඇති....

වැල් පාළමෙන් එගොඩ වෙන තැනම පසෙක අපුරු ගැමි ගෙයක් තිබුණා.... වත්මනේ කැලෑවට අයිති භූමියක් වුණත් එහි පදිංචි කරුවන් හිටියා.... 

“මාමා... මේ පාළම හැදුවෙ කොයි කාලෙද? “ ඒ ගෙදර හිටිය වැඩිහිටියෙකුගෙන්  අපේ පිරිවරේ කෙනෙක් ඇහුවා.....
“මාළිගාවිල පිළිමේ හදන කාලේ... ප්‍රේමදාස මහත්තයා කැලේට ගිය වැව් වලින් දෙක තුනකුත් අළුත් වැඩියා කලා... ඒ කාලේ තමා මේ වැල් පාළමත් හැදුවේ....“

“මොනවද මේ හරියේ තියෙන පැරණි ස්ථාන ? “

“ ඉස්සර මේ හරිය  කැළේට අයිති නෑ.... ඒ කිව්වේ 1960ට විතර කළින්..... ඒ කාලේ මේ වැව් ගම්මාන වල මිනිස්සු පදිංචි වෙලා හිටියා... 1960දී යාළ කැලේ අළුතෙන් මායිම් හදද්දි ඒ මායිමට ඇතුළු වුණු මිනිස්සු පස්සේ මායිමට පිටතින් පදිංචි කරලා ගම්මාන කැලේට යට වෙන්න හැරියා... ඔන්න ඔය වංගුව පැනල ටිකක් දුර පයින් ගියහම “ගල්කණු මණ්ඩියක් තියෙනවා... එතැනින් ටිකක් ඇතුළේ පරණ විහාරයක නටඹුන් එහෙමත් තියෙනවා....චෛත්‍යය නම් දැන් පේන්නේ පස් කන්දක් විදිහට විතරයි.....“

“මහත්තයලා ඇතුළට යන්න එපා... ඔය හරියේ වදුළු වල සත්තු ඉන්න පුළුවන්... අනෙක පුරාවිද්‍යාවෙන් අවසර නැතිව ආව නිසා කොහෙත්ම යන්න එපා.... කට්ටිය ගොඩයිනේ....“

“ඇයි පුරාවිද්‍යාවෙන් නිතර එනවද?“

“මොන පිස්සුද මහත්තයා... ඔත්තුවක් දුන්නත් පළාතේ එන්නේ නෑ...ඒත් මහත්තයලා යන්න එපා....“
ඔහු මොනවා හෝ හංගනවා කියලා පැහැදිලි වුණත් ඒ ගැන වැඩිදුර තොරතුරු ලබා නොගෙන අපි ඔහුගෙන් සමුගත්තා....

තවත් මීටර පන්සියයක් පමණ දුර යද්දි වම් අත පැත්තේ ගල්කණු ගණනාවක් සහිත අදාළ ස්ථානය දැක ගන්න හම්බු වුනා...අපේ  නඩයේ හිටපු චමින්ද ඈතින් පෙනෙන කුඩා කන්දක් අපිට පෙන්වා...

“අන්න අර තියෙන්නේ ගරා වැටුණු චෙත්‍යය... පහුගිය කාලේ කට්ටිය ඔතන නිධන් හාරලා....ඒකයි අර මාමා අපිට යන්න එපා කිව්වේ...

එතැනදි ඒ ගැන කියන්න බැරි නිසා තමා මමත් සද්ද නොකර හිටියේ...“ 
ඡායාරූප එහෙම අරගෙන ආපහු වාහනයට එන අතරතුර හිරු එළියෙන් වහං වෙලා   වන වදුළක පෙම් සුව විඳිමින් හිටපු මොණර යුවළක්  ඔවුනට උරුම අමිහිරි හඬින් කෑ ගසමින් පළා ගියේ අපේ පිරිවර සමග ආ කේන්තියෙන් විය යුතුයි.....

ටික දුරක් වාහනයෙන් ගිය අපි දැනටත් වගා කරනවා යැයි සිතිය හැකි කුමුරු යායක් සමීපයට ආවා.... ඒ එක්කම පසෙකින් වැව් කණ්ඩියක් දකින්න ලැබුණා... වාහනය වැව් කණ්ඩියට දානවත් එක්කම මතුවුණේ පාර අවුරා සිටින අලි වැටක්.... 




අඩි දහයක දොළහක පරතරයක් දෙපසින් මයිල කොට දෙකක් සහිත එම අලි වැටේ කම්බිය ට අඩි දෙකක විතර දිග බයිසිකල් ටයර කොටසක් සහ කණුවකට සම්බන්ද කොක්කක් අමුණා තිබුණා... අපිට මග පෙන්වන්නට ආ සහෘදයා වාහනයෙන් බැහැල ගිහින් බයිසිකල් ටයර කොටසින් අල්ලා කම්බියේ කොක්ක පන්නා වාහනයට ඉදිරියට යාමට අවස්ථාව සාදා දුන්නා...වාහනය ඉදිරියට ගිය පසු නැවැත කොක්ක අමුණා ඔහු වාහනයට පැමිණියා.... එලෙස අලි වැටෙන් ඇතුළුව කැළයට ගිය අපි මේ යන්නේ නටඹුන් වූ වැව් පිටයක් ඔස්සේ බව චමින්ද අපිට කිව්වා.... 

තවත් ටික දුරක් ගිය වාහනය නැවතුනා.... 

“මහත්තයල බහින්න.... මෙතැනින් එහාට ගමන පයින් තමයි.....“ වාහනයෙන් බැහැලා ආව මංගල මල්ලි අපේ පිරිසට කිව්වා..

වියළි කළාපයේ වනාන්තර වල දක්නට ලැබෙන දර්ශීය ශාක පද්ධති වලින් වටපිටාව පිරිලා තිබ්බා... තැනිතලා බිමේ එක තීරුවට ගස් වැවිලා තිබුණේ නෑ...  තැනින් තැන පඳුරු ගොනු ... එරමිණියා-අන්දර- මයිල වගේ ගස් කුඹුක් මී වගේ විශාල ගස් එහෙමත් දක්නට ලැබුණා.... 

ටික දුරක්  කළකට පෙර අතහැර දැමූ ඇළ මාර්ගයක ඉවුර  දිගේ ඉහළට යද්දි  දවසකට දෙකට කළින් හෙළූ අලි බෙටි කිහිපයක් දකින්න ලැබුණේ මෙම වන උයනේ සැබෑ අයිතිකරුවන් මේ ඉමේ සැරිසැරූ බවට සාක්ෂි සපයන්න.... 

“මේ වෙලාවට නම් අලි වැවට එනවා අඩුයි.... ඒත් හවස හතර පැන්නම නම් අනිවාර්යයෙන් අලි රංචුවක් දෙකක් මේ වැවේ වරදින්නේ නෑ“ එහෙම කිව්වේ චමින්ද

“දැන් වේලාව දොළහ හමාරයි....“ ඉජාස් කිව්වා...

“මේ වෙලාවට අලි ඉන්නේ වඳුළු වල....“ 

කොළඹට මේ දිනවල දැනෙන දැඩි හිරු රශ්මිය යාළ කැලේ ඇතුලෙදිත් ඒවගේම පැවතියත් පරිසරය විඳිමින් සහ චමත්කාරය දකිමින් ගිය අපේ පිරිවරට ඒ රශ්මිය ප්‍රබලව දැනුණේ නැ... සැතපුමක විතර දුරක් ගියහම පාරේ දකුණු අත පැත්තේ  ගල් තලාවක් මත සුවිශේෂි යමක් දක්නට ලැබුණා... සාමාන්‍ය ගලේ පසුකාලීනව සැකසූ අඩි තුනක් පමණ දිගින් සහ අඩියක පමණ පළළින් යුතු  සිමෙන්ති රාමුවකට මැදිකොට තිබුණේ සෙල් ලිපියක්....

සෙල් ලිපියට ඉදිරියෙන් තිබුණේ වැව් බැම්මක්..... අපි හෙමි හෙමි හිට වැව් බැම්මට ගොඩවුණා... නිල් කැටේට වතුර පිරුණු අනුරාධ පුර තිසා වැව තරමට විශාල වැවක් අපේ නෙත් මානයේ දිස්වුණා.... 
“මේ තමයි වැලි අරෙ වැව“ මංගල මල්ලි කිව්වා...


“මේක මහානාග රජතුමා රුහුණෙ රජ කරද්දි හැදුවා කියලා තමා කියන්නේ... එහෙම වැව් දහයක් දොළහක් මේ කැලෑවේ තියෙනවා... අද ඒවා සත්තුන්ගේ රජ දහන් වෙලා.....“

“සමහර වැව් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලේ අළුත් වැඩියා කළා.... මේකත් එහෙම එකක්... මේකේ වතුර දැන් කතරගම- බුත්තල පාරේ තියෙන කුඹුරු යායවල් වලට යවනවා..... “

වැව් බැම්ම දිගේ ටික දුරක් යනකොට මේ වැව අළුත්වැඩියා කිරීම සම්බන්ධ මෑත කාලීන පුවරුවක් හමුවුණා.... ඒකට අනුව මේ වැව අළුත් වැඩියා කරලා තියෙන්නේ 1991දී.... 

ගිනි මද්දහන වුණත් වැව් දිය පිස එන සුළඟ නිසා රස්නයක් දැනුනේ නෑ.... අපි අව්වෙම ඇති වෙනකම් ඡායාරූප ගත්තා.... ටිකක් වෙලා යද්දි අපිට යතුරු පැදි ශබ්දයක් ඇහුණා.... විමසිල්ලෙන් බැලුවහම ස්කූටි වර්ගයේ බයිසිකලයක් අපි පයින් ආ පාර දිගේ වැව පැත්තට එනවා.... 

“පුරාවිද්‍යාවන් වත්ද? “ වැල් පාළම ගාව මාමා කියපු කතාව මතක් වුණා.... 
හෙමි හෙමින් ආව බයික් එකේ සරම් ඇඳගත්තු පුද්ගලයින් දෙන්නෙක් හිටියා.... එයාලා ළඟ පොහොර මල්ලකුත් තිබුණා.... කිසි කලබලයක් නැතිව අපි ඉන්න කිට්ටුවටම ආව බයිසිකලයේ පිරිස අපේ මඟපෙන්වන්නා හඳුනාගෙන ඔහු හා කතා කළා....

“මංගල මල්ලි... ඇවිදින්න ආවද? “ 
තවත් තොරතුරු විමසූ ඔවුන් වැව් බැම්ම දිගේ වැව් තාවුල්ල පැත්තට නොපෙනී ගියා......

“ඒ කවුද?“ 
“තව විනාඩි දහයකින් විතර අර ඈත පේන ගල් තලාව දිහා බලන්නකෝ.... එතකොට පෙනේවී ඒ අය මොනවද කරන්නෙ කියලා...“ 

ඡායාරූප ගනිමින් වටපිට අසිරිය බලමින් කාලය ගතකරපු අපි පැය කාළකින් විතර  අර ගල් තලාව දිහා බැලුවා....

අප පසුකර ගිය දෙදෙනා ගල්තලාව මත ඉන්න බවක් පෙනුනා... ඔවුන්ගේ කාර්යය නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වූයේ ඔවුන් මසුන් මරන්නන් බව පැහැදිලි වුණා... එක් අයෙක් ගල් තලාව අයිනේ වූ ඔරුවකට නැඟ එය වැව මැදට පදිමින් සිටියා.... 

“ඔය උදේ එළපු දැල් ඇදලා අළුත් දැල් දාන්න යනවා....“




ඇති තරම් ඡායාරූප ගත්තු අපි ආපහු එන්න පිටත්වුණා...... ඒ එන අතරමඟදි වතුර තිබහ මකා ගන්න දොඩම් මල්ලකට වගකියන්නත් අපේ පිරිස අමතක කළේ නෑ.... 

ඒ මල්ල බෙදා ගනිද්දි හොඳම ගෙඩිය තෝරගන්න මාධව සහ ඕදිත අතර සිදුවුණු සුහද සංග්‍රාමය එහෙමත් අමතක කරන්න බෑ... ( පොත්ත - හැඩය වෙනස් වුණාට කොයි දොඩමෙත් රස එකයි කියලා තාම එයාල දන්නේ නෑ...) 

බිම දිගට වැටිලා තිබුණු කුරුළු පිහාටු අහුලමින් - දං ගෙඩි කමින් - තමන් දන්නා වන කථන්දර දිග හරිමින් ආපහු ආව අපි වාහනය නැවැතූ තැනින් ඇති අතුර පාරක් දිගේ ආයෙත් ටික දුරක් ගියේ බූවැව හොයාගෙන..... 
ඒ වැවේ වතුර දියබෙරලිය- කොක්මොට  සහ පාසි වලින් වැහැලා තිබුනා.... දියකාවුන් - කොකුන් - පිළිහුඩුවන්- ඉදිබුවන් සහ සමනළයින් අඩුවක් නැතිව හිටිය ඒ වැව ගාවට යද්දි තවත් මොණර ජෝඩුවකගේ ආලිංගන සුවය බිඳින්න අපිට සිද්ධ වුණා..... 

තවත් පැයකට විතර පස්සේ නිසංසල බූ වැවෙන් පිටවුණු අපි වාහනයට නැඟලා ආපහු එන්න පිටත් වුණා.... ආයෙමත් අපි ආවේ පෙර සඳහන් කල අවශ්‍යතාවය අනුව වීවෘත කරන අලි වැට ගාවට.... අපේ මගපෙන්වන සගයා ටයර් කෑල්ලෙන් අල්ලා ආපහු පාර ඇරලා අපිට පිට වෙන්න අවස්ථාව හැදුවා....

“ඔය අලිවැටේ විදුලිය මිනිහෙකුට වැදුණොත් මොකද වෙන්නේ....“ 
“එක කම්බියක් ගෑවුණහම හිරි වැටෙන ගතියක් තමා එන්නේ.... හරි සැරක් වදින්නනම් කම්බි දෙකම එක වර ගැවෙන්න ඕන... 
එහෙම වුණත් මැරෙන්නේ නෑ... වීසි වෙලා යාවි....“ 
ආව පාරෙම ටික දුරක් ගිය මැක්සිමෝව පාර වෙනස් කරමින් දකුණට හැරෙව්වා.... 

“අපි මේ යන්නේ ලව්ලන්පිටියට.....“
“දැන් නම් බඩගිනියි කාලම යමුද?“  වාහනේ පිටුපසින් එන පණිවිඩය ඉදිරියට කිව්වේ පිටිපස්සෙන් එලිලිලා ගිය චමින්ද මල්ලි...

එහෙනම් ඔය අයිනට යමු... 
ටික වෙලාවකින් වාහනේ නැවතුනේ කුඹුක්කන් ඔය ඉවුරේ කුඹුක් ගස් යායක් අද්දර..... 

වේලාව හවස තුන විතර වෙලා.... හේන් වාඩියේ ඉඳන් උණු උණුවේ ඔතාගෙන ආව කෙහෙල් කොළේ බත් පාර්සල් වලට වගකියන්න වෙලාව හරි......

කුඹුක්කන් ඔයෙන් මුහුණ කට හෝදගෙන....ගස්මුල් වලයි... තණකොළ බිස්සෙයි... වාහනේ ඇතුළෙයි ඉඳගෙන හැමෝම කෑම කන්න පටන්ගත්තා....

කැකුළු හාලෙ බතට පදමට කර කරපු කතුරුමුරුංගා මැල්ලුමකුත් - කිරට හැදූ අල ව්‍යාංජනයකුත් - බැදපු හාල්මැස්සන් සහ මිරිසුත් තිබුණු ඒ බත් පත පංකාදු පහයි නොකියා කොහොමද? 

කෑමෙන් පස්සේ ආපහු ගමන පටන්ගත්ත අපි කුඹුක්කන් ඔයට වැටෙන කුඩා දිය පහරවල් කිහිපයක් පසු කරගෙන සැතැපුම් කිහිපයක් ඉදිරියට ගියා.... මේ කුඩා දිය පාරවල් හඳුන්වන්නේ “ආර“ නමින්.... ට්‍රැක්ටරයක් හැරුණහම මැක්සිමෝවක් වැනි වාහනයකට යා හැකි රළු පාරක් තමා අපේ ගමන් මග වුණේ... සමහර තැන් වලදි පරිසට වාහනෙන් බැහැලා ටික දුරක් පයින් ගිහින් ආපහු වාහනේට නඟින්නත් සිද්ධ වුණා....

අපි මේ යන්නේ හෙබැස්ස විහාරයට ආසන්න ඉපැරණි විහාරාරාම සංකීර්ණයක් හොයාගෙන.... පාරෙන් වම් පැත්තේ කුඹුක්කන්ඔයට මායිම් ඉඩම් වල කෙසෙල්- මඤ්ඤොක්කා- ගස්ලබු වගේ වගාවන් කරලා තිබුණා...
“1960 ගණන්වල මේ කොටස යාලට යටත් කළාට.... පැරණි ඉඩම් අයිති කාරයෝ තාමත් මේ ඉඩම් වගා කරනවා....“ 

කුඩා කුඩා පාරවල් වලින් හැරිලා සැතැපුම් කිහිපයක් ගිහින් අවසානයේ වාහනය නැවතුනා....
“අපිට පාර වැරදුණා වගේ.... ඉන්න අපි තුන් දෙනා අර කැලෑ මණ්ඩියට එපිටින් තියෙන ගලට නැඟලා ඉසව්ව බලාගෙන එන්නම්“... මංගල සහෝදරයා වාහනෙන් බැහැලා ඇවිත් කිව්වා....





“ඔයාල කලබල නොවී වාහනේම ඉන්න.... “ චමින්දත් අපිට කිව්වා.....
මඟ පෙන්වන්නන් අපිව තනි කර ගියහම වෙන කරන්නත් දෙයක් නැති එකේ අපේ පිරිවර ආපහු දොඩම් මල්ලට බැස්සා..... 

ඒ අතරේ බිම වැවෙන “හීන්තලා“ අහුරක රස බලන්නත් කිහිප දෙනෙක් අමතක කළේ නෑ...

මේ අවස්ථාවේ මදුරුතලා ගැන අපේ පිරිස අතරේ පුංචි වාදයක් ඇතිවුණා... මොකද නොදන්න පළාතක නොදන්න දේවල් කන්න ගිහින් ගැටළුවක් වේද කියන බිය ඔවුන්ට දැනෙන්න ඇති... ඒත් සාමාන්‍යෙයන් රටේ හැමතැනම වැවෙන හීන්තලා- හීන් මදුරුතලා දේශියව බුලත් වෙනුවට ගන්නා ආදේශකයක්.... 

හීන්තලා ප්‍රමුඛ මදුරුතලා ගැන මේ විස්තරය උපුටා ගත්තේ අන්තර්ජාල ලිපියකින්....
“ශ්‍රී ලංකාවේ මදුරුතලා ප්‍රභේද කිහිපයක් හමුවේ.එනම් හීන් මදුරුතලා, මහ මදුරුතලා, කළු මදුරුතලා, ගස් තලා යනුවෙනි.රසායන ගුණය එනම් නිරෝගී දීර්ඝ ජීවනය ලබාදීමේ හැකියාව මෙම ශාඛය සතු බව  ආයුර්වේද මූලග්‍රන්ථයන්හි සඳහන්ය.
වියළි කලාපයේ බහුලව වැවෙන අතර ඖෂධ සඳහා සම්පූර්ණ ශාකයම යොදා ගනියි. මදුරුතලා කොළ ස්නායු ශක්තිමත් කරයි.මානසික ආතතිය දුරලයි. කාස ශ්වාස අවස්ථා වලදී සහනය සලසයි.කුසගින්න වඩවයි.  සමේ සිසිල් බව ඇති කරන අතර ආයුර්වේදීය රූපලාවන්‍ය ප්‍රතිකර්ම වලදී සමට ප්‍රශස්ත පිරිසිදුකාරකයක් (cleanser)ලෙස මදුරුතලා කොළ යුෂ යොදා ගැනේ.
ප්‍රතිශ්‍යාව මුල් අවස්ථාවේදී මදුරුතලා කොළ තම්බා උගුර සේදීමෙන් සහනයක් ලබා ගත හැකිය.පරණ වූ ප්‍රතිශ්‍යාවේදී මදුරුතලා,ගම්මිරිස් සහ කරාබු නැටි තම්බා බීමෙන් සුව සහනය ඇති වේ.මුඛ දුර්ගන්ධය ,විදුරුමසින් ලේ ගැලීම සහ මුඛයේ ඇතිවන කුඩා තුවාල (aphthous ulcer) සඳහා මදුරුතලා ප්‍රශස්ත ඔසුවක් වේ.“ 

පැය භාගයකට විතර පස්සේ අපේ සගයෝ තුන් දෙනා කැලෑ වැදුණු පැත්තට ටිකක් දකුනට වෙන්න කැලේ ඇතුලෙන් කොළ අතු කැඩෙන සද්ද ටිකක් ඇහෙන්න ගත්තා.... 

“වැඩේ හරි ලොකු අයියලා ඇවිත් වගේ......“ 

“අලි මෙතැනට ආවොත් මොකද කරන්නේ.....“ 

“අපි වාහනේ හෝන් එක දිගටම ඔබාගෙන ඉමු....“ 

අපේ පිරිසට අලි පළවාහැරීම වෙනුවෙන් විවිධ උපක්‍රම සිහිවෙන්න පටන් අරන්.....
“මම නම් අලි මන්තර දන්නවා....“  මම කිව්වා.....

කොහොමින් කොහොමින් හරි අතු කැඩෙන සද්දේ ළඟටම ආවා... බැලින්නම් ඒ තොරතුරු සොයා එන්නට ගිය අපේ ගමන් සංවිධායකයින්......

“අපිට පාර වැරදිලා... ආපහු හැතැප්ම එක හමාරක් විතර ගිහින් හැරිලා යන්න ඕන... උඩහ වැව් පිටියේ නම් අලි ඉන්නවා... ඒත් එතැනට වාහනේක යන්න බෑ....“

“දැන් හවස් වුණා වැඩියි......  අපි හැරිලා යමු...“  “ගිහින්  හෙට උදේම ඇවිත් හෙබැස්සත් බලාගෙන අනෙක් විහාරෙටත් යමු...“ 

මංගල එහෙම යෝජනාවක් කලේ කාලයත් එක්ක දැනෙන අවධානම සළකා බලලා..
අපි අවසානයේ ඒ තීරණයට එකග වුණා..... 

තවත් පැයක විතර සුන්දර සහ දුෂ්කර ගමනකින් පස්සේ අපි ආපහු නවාතැන් ගන්නා හේන් යායට ආවා....
දවල් දවසේ ගමන් වෙහෙසත්- විඩාව දුරු කරගන්න වුවමනා නිසා අපේ පිරිස ඊළගට නැවතුනේ කුඹුක්කන් ඔයේ.....






අපි කුඹුක්කන් ඔයෙන් ගොඩ වෙන කොට බිං කරුවල වැටිලා..... හේනේ පැලට ඉහළින් සවිකළ සූර්ය කෝෂ විදුලියේ බලයෙන් හේන වටා අලි වැටසක්‍රීය කර  - පැළට විදුලි බුබුලකුත් දැල්වීම පළමු කාර්යය බව අපිට කිව්වේ කළු මාමා.....

රෑ කෑමට කුරහන් තලපත් - පරිප්පු සහ දඩමස් හොද්දකුත් සූදානම් වෙන තෙක් අපි - අපේ පිරිවරේ සගයෙක් ගෙනා රටකජු කාලා කහට එකකුත් බිව්වා.....

ඊළගට තියෙන්නේ ගිනිමැළය දැල්වීම.....විදුලිය තියෙන හේනකට ගිනිමැළය අවශ්‍ය නොවුණත්- හේනක සිරිය විඳින්න ආපු අපිට ගිනිමැළයට අවශ්‍ය දර කොට සහ පතුරු සෝමේ මාමා විසින් සූදානම් කරලා තිබුණා.... 

ඔහු දර ටික නිසි ලෙස අහුරලා ලිපෙන් ගෙනා අඟුරු ටිකක් දර ගොඩ පහළින් අතුරලා රොඩු ටිකක් ඊට උඩින් දමලා සිරු මාරුවට ගිනිමැළය උස් කලේ පළපුරුද්ද ක්‍රියාවෙන් පිළීබිඹු කරමින්.....


හේන් වගාවෙන් පටන් අරගෙන මැණීක් ගැරිම ගංජා වැවීම හරහා නිට්ටෑවුන් දක්වා පැතිරුණු ගිනිමැළය අද්දර දොඩමළුව ඉවර වෙන කොට රාත්‍රී නවයත් පහු වෙළා..........

දුම්දමන දඩමස් හොද්දේ සුවඳත් එක්ක මෝදු වෙන බඩගින්නට තිත තියන්න කට්ටියම රෑ කෑමට මුල පිරුවා....

තලප ගෙඩියක් ඉවර කරගන්න පුළුවන් වුනු එකම සාමාජිකයෙක්වත් අපි අතරේ හිටියේ නෑ... ඒත් සඳුන් මලය නම් තලපයට එච්චර ප්‍රියමනාප වුණේ නෑ....කොහොමින් කොහොම හරි කාගේ කාගෙත් කුසත් හිතත් පිරෙන හේනේ පැලේ රෑ කෑම වේලත් අහවර වුණා....කෑමෙන් පස්සේ දැනෙන්න ගත්ත එකම හැඟීම නිදිමත විතරයි.... පදමට ඇවිලෙන ගිනිමැළේ පවා බොඳ වෙලා පේන තරමට නිදිමතේ හිටපු අපි, මංගල මල්ලිගෙන් සහ කළු මාමාගෙන් සමුගෙන එකා එකා පඩිපෙළ නැඟලා උඩ තට්ටුවේ හය දෙනෙකුත් යට තට්ටුවේ සිව් දෙනෙකුත් විදියට-  හනි හනිකට නින්දට රුක් නිවසේ ගොනු වුණු අපි නින්දට ගියා.....

සැනසිල්ලේ නින්දට ගිය අපේ පිරිසට ඇහැරෙන්න සිද්ධ වුණේ වනය සිසාරා ගිය ආගන්තුක හඬකින්... ඒ ගැන තොරතුරු ඊළඟ ලිපියෙන් කියන්නම්...... 

ඔබටත් අප සමඟ එකතු වෙන්න පුළුවන්...  ඒ සඳහා 076-6642607 අමතන්න. 

අපේ මුහුණු පොතේ සමූහය සමඟ මෙතැනින් එකතු වෙන්න. 


MegaaHike කණ්ඩායම වෙනුවෙන්
චාරිකා සටහන  -ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ



3 comments:

  1. මේකනං මාරයි.
    මටත් ‍ඔහොම ඉන්න ආසාවක් තියෙනව. ඒත් දැං ඕකට පරක්කු වැඩියි. හැක්..

    ReplyDelete
    Replies
    1. Join our Social Media Groups & Pages...... We are operating two events every month.... MegaaHike - https://www.facebook.com/groups/1016530405081013/

      Delete
  2. Join our Social Media Groups & Pages...... We are operating two events every month.... MegaaHike - https://www.facebook.com/groups/1016530405081013/

    ReplyDelete